දම්රෝ පාලනය යටතේ අගලවත්ත ප්ලාට්නේෂන්ස් සාර්ථක ගමනකලු

දම්රෝ පාලනය යටතේ අගලවත්ත ප්ලාට්නේෂන්ස් සාර්ථක ගමනකලු

දම්රෝ වැවිලි සමාගම අගලවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම මිලදී ගෙන එහි පාලන කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මේ දක්වා  ඉතා හොඳ සාර්ථක ගමනක් පැමිණ ඇතැයි දම්රෝ සමාගම නිවේදනයක් මගින් සඳහන් කරයි.

දම්රෝ සමාගමේ හිමිකරු දමිත් රාමනායක මහතාගේ අවබෝධයකින් තොර කළමනාකාරීත්වය යටතේ අද වනවිට අගලවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමට අයත් වතු 17ක් විනාශයට පත්ව තිබෙන බවත්, ඒවායේ සේවය කරන සේවකයන්ගේ අප්‍රේල් මස වැටුප ගෙවීම පවා මේ වනවිට අර්බුදයක් පවතින බවටත් පසුගියදා පළ වූ මාධ්‍ය වාර්තාවට පිළිතුරු ලෙස දම්රෝ සමාගම මෙම නිවේදනය අද ජාතික පුවත්පත් හරහා නිකුත් කරන්නට ඇතැයි විශ්වාස කළ හැකිය.  

එහි සඳහන් ආකාරයට, දම්රෝ වැවිලි සමාගම විසින් 2017 වසරේ මාර්තු මාසයේදී පුස්සැල්ලාව ප්ලාන්ටේෂන් සමාගම සහ අගලවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී යන සමාගම් මිලදී ගැනීම සිදු කරන ලද බව පවසයි.

එම අවස්ථාවේදී පුස්සැල්ලාව ප්ලාට්නේෂන් සමාගම වඩාත් කාර්යක්ෂමක විධායක නිලධාරී කණ්ඩායමක් යටතේ ඉතා හොඳින් කළමනාකරණය කරමින් තිබූ බවත්, බැංකු ණය මිලදී ගැනීමක් හෝ සිදු කර නොතිබූ හෙයින් සමාගම වෙත කිසිදු ආකාරයක මූල්‍යමය සහායක් දැක්වීමට දම්රෝ වැවිලි සමාගමට සිදු නොවූ බවත් මෙම නිවේදනයේ සඳහන් වෙයි.

එහෙත් අගලවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සීහි තත්ත්වය එසේ නොවූ බව දම්රෝ සමාගම පවසයි. එහිදී සමාගම බංකොලොත් තත්ත්වයකට පත්වීමේ අවස්ථාවක පැවති බවකත්, එතෙක් වසර තුනත් හතරත් අතර කාලයක් සඳහා නොගෙවා තිබූ එම සමාගමේ සේවකයන්ගේ සේවක අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල්, පාරිතෝෂික මුදල්, රජයේ කුලී ගෙවීම් යනාදිය ගෙවා අහවර කිරීම සඳහා තම සමාගමට රුපියල් මිලියන 4,000ක ප්‍රාග්ධන මුදලක් යෙදවීමටත් සිදුවූ බවත් දම්රෝ සමාගම පවසා සිටියි.

මෙලෙස කර්මාන්තශාලා සංවර්ධනය සඳහා, වගා කටයුතු දියුණු කිරීම සඳහා මෙන්ම මහා පරිමාණ වගා කටයුතු සඳහා දම්රෝ සමාගම අතිවිශාල මුදලක් වියදම් නොකළේ නම් අගලවත්ත ප්ලාන්ටේෂන් සමාගම මෙවැනි දියුණුවක් පෙන්නුම් කිරීමට අපොහොසත් වෙනු ඇති බවත්  දම්රෝ සමාගම සඳහන් කරයි.

“අගලවත්ත ප්ලාන්ටේෂන් සතු දේපළ ප්‍රමාණයක් පුස්ලැල්ලාව ප්ලාන්ටේෂන්හි සහ දම්රෝ සමාගමේ විධායක නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ කළමනාකාරීත්වය යටතේ පවත්වාගෙන ආවා. අද මෙම වතුයායන් කෘෂිකාර්මික සහ මූල්‍යමය අතින් වඩාත් හොඳ දියුණුවක් අත් කරගෙන තිබෙනවා.” දම්රෝ වැවිලි සමාගම පවසයි.

කෙසේ වෙතත් අදින් වසර පහකට පෙරාතුව පිළිබඳව සැලකූ විට අගලවත්ත ප්ලාන්ටේෂන් සමාගම වාර්ෂිකව රුපියල් මිලියන 500ක අලාභයක් ලැබූ බවත්, 2019 වසරේ අවසන් කාර්තුව වන විට දම්රෝ සමාගමේ මැදිහත්වීමෙන් අගලවත්ත ප්ලාන්ටේෂන් වඩාත් ලාභදායී ලෙස සාර්ථක මෙහෙයුමක් සිදු කරමින් සිටින බවත් සඳහන් වෙයි.

“අද වන විට අගලවත්ත ප්ලාන්ටේෂන් සතු බැංකු ණය ප්‍රමාණය පහළ මට්ටකමට පත්වෙලා. දිගු කාලයකට පසුව තිරසාරත්වය අතින් වඩාත් හොඳ දියුණුවක් ලබා ගෙන. කෙසේ වෙතත් ලෝකයේ රබර් වෙළෙඳ පොළෙහි මිල පහත වැටීමත් සමගින්ම අද වනවිට සිය වියදම් පාලනය කරමින් ආදායම් වෙත එල්ල විය හැකි බලපෑම් පාලනය සඳහා කටයුතු යොදමින් සිටිනවා.” දම්රෝ සමාගම පවසයි.

මේ අතර දම්රෝ සමාගම අගලවත්ත ප්ලාන්ටේෂන්ස් සමාගමේ කළමනාකාරීත්ව භාරගත් දිනයේ සිට මේ දක්වා සේවකයන්ගේ වැටුප් නියමිත කාලසටහනට අනුව ගෙවීමට වගබලාගත් බවත්, ඊට පෙර එවැනි තත්ත්වයක් සමාගම තුළ නොවූ බවත් දම්රෝ සමාගම මෙහිදී මතක් කර දෙයි.

1980 වසරේදී පිහිටවුණු දම්රෝ සමාගම ගෙවුණු දශක කිහිපයේදී අවස්ථා ගණනාවකදීම විවිධ අර්බුදකාරී තත්ත්වයන් රැසකටම මුහුණ දුන් බවත් පවසා සිටියි. ඒ අනුව අතීතයේ මෙන්ම වර්තමාන ගෝලීය වසංගත අවස්ථාවේදී සාර්ථකව මුහුණ දීමේ හැකියාවක් තම සමාගම සතුව පවතින බවත්, පෙරට වඩා ශක්තිමත්ව යළි නැගී සිටීමේ හැකියාවක් පවතින බවත් සමාගම නිවේදනයේ සඳහන් කර සිටියි.

මේ අතර පෙරේදා පළ වූ වාර්තාවට අනුව, මේ වනවිට දම්රෝ හිමිකරු දමිත් රාමනායක මහතා අගලවත්ත වතු සමාගම විකුණා දැමීමට ගැනුම්කරුවෙකු සොයමින් සිටින බවත් සඳහන් කරයි. එසේම දම්රෝ සමාගමේ තත්වය දන්නා කිසිදු බැංකුවක් මේ අවස්ථාවේදී ඔවුන්ට උදව් කිරීමට ඉදිරිපත් වී නැති බවත්, කෝවිඩ් වසංගතය හමුවේ ඔවුන් විසින් මුදල් සොයාගැනීමට ගත් උත්සාහයන් ද ව්‍යාර්ථ වී ඇතැයිද එහි සඳහන් වෙයි.

ඒ අනුව විනෝදාස්වාද කර්මාන්ත අංශයේ දම්රෝහි විවිධාංගීකරණ සැලසුම ද සම්පූර්ණ අවුලක් බවට පත්ව ඇති බව බවසන එම වාර්තාව, එහි ප්‍රතිඵලයක් ලෙස රාමනායක මහතාට අයත් කොළඹ පිහිටි හෝටල්/සාප්පු සංකීර්ණය සඳහා ද සුදුසු ගැනුම්කරුවෙකු සොයමින් සිටින බවත් සඳහන් වී තිබේ.

Views: 301