COVID-19 සහන දීමට‍ ලීසිං/ෆිනෑන්ස් සමාගම් වෙත මහ බැංකුවෙන් සහන

COVID-19 සහන දීමට‍ ලීසිං/ෆිනෑන්ස් සමාගම් වෙත මහ බැංකුවෙන් සහන

කොරෝනා ව්‍යසනය හෙවත් කෝවිඩ්-19 නිසා බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයන් සඳහා සහන සැලසීම වෙනුවෙන් අවශ්‍ය නම්‍යශීලීත්වය ලබා දීමේ අරමුණින් බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයට අදාළ වන ලෙස සුවිශේෂී නියාමන ක්‍රියාමාර්ග රැසක් හඳුන්වාදීමට තීරණය කළ ශ්‍රී ලංකා මහ බැංකුව  පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය බලපත්‍රලාභී මූල්‍ය සමාගම් (ෆිනෑන්ස්) සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් (ලීසිං) සඳහා මෙලෙස සුවිශේෂී නියාමන ක්‍රියාමාර්ග හඳුන්වා දී තිබේ.

එහිදී මෙම ආයතන මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ප්‍රාග්ධන වර්ධන අවශ්‍යතාවන් සඳහා කල් දිගුවක් ලබාදීම ඇතුළු තවත් නියාමන අවශ්‍යතාවන් නම්‍යශීලී කිරීම තාවකාලිකව පියවරක් ලෙස ගැනීමට මහ බැංකුව තීරණය කර තිබේ.

ඒ අනුව මහජන තැන්පතු හදිසි ආපසු ගැනීම් සහ ණය වාරික නොගෙවීම මත මෙම ආයතන විසින් මුහුණ දී ඇති ද්‍රවශීලතා ගැටලු ලිහිල් කිරීම සඳහා ස්ථාවර තැන්පතු, ඉතිරිකිරීමේ තැන්පතු සහ ණය මත පනවා ගත යුතු සංස්ථාපිත අවම ද්‍රවශීල වත්කම් ප්‍රමාණය මෙහිදී අඩු කර තිබේ.

එසේම අවම මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවය සපුරාලීම සඳහා නියමිත අවසාන දිනය තවත් වසරකින් දීර්ඝ කිරීමට ලක්ව ඇත. එහිදී රුපියල් බිලියන 2ක අවශ්‍යතාව සැපිරීමේ කාලය 2020 ජනවාරි 01 සිට 2020 දෙසැම්බර් 31 දක්වාත්, රුපියල් බිලියන 2.5ක ප්‍රාග්ධන අවශ්‍යතාව 2021 ජනවාරි 01 සිට 2021 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර ඇත.

මීට අමතරව වත්කම් මහ බර තැබූ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතිකය ඉහළ දැමීම පිණිස 2020 ජූලි මස 01 වැනි දින සිට සහ 2021 ජූලි මස දින සිට පැවැති නියමය තවත් වසරකින් එනම් 2021 ජූලි මස 01 සිට 2022 ජූලි මස 01 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

එසේම බැංකු නොවන මූල්‍ය අධීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කාලීනව සිදුකළ යුතු ව්‍යවස්ථාපිත වාර්තාකරණය සඳහා මෙම ආයතන දෙක වෙත අතිරේක සහන කාලයක් ලෙස ව්‍යාපාරික යථා තත්ත්වයට පත්ව සති දෙකක කාලයක් තුළ එම වාර්තා ඉදිරිපත් කිරීමට ඉඩ ලබා දී තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරකය යෝජනා ක්‍රමය යටතේ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සඳහා ද්‍රවශීලතා ආධාර ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ ශක්‍යතාව පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව අධ්‍යයනය කරමින් සිටින බවත් පවසයි.

මෙම සුවිශේෂී නියාමන ක්‍රියාමාර්ග හරහා බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයෙහි ප්‍රගතිය සහ අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා මහ බැංකුව විසින් බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් සතු ද්‍රවශීලතාවය සහ ප්‍රාග්ධන මට්ටම් ඉතා සමීපව අධීක්ෂණය කරන බවත් මහ බැංකුව පවසයි. 

එසේම සියලුම සමාගම් සිය වත්කම් සහ අවදානම් ව්‍යුහය ක්‍රමානුකූලව කළමනාකරණය කරන ලෙසත් මහ බැංකුව එම සමාගම්වලින් ඉල්ලා සිටියි.

Views: 158