ශ්‍රී ලංකන් ගුවන් ගමන් අප්‍රේල් 8 සිට නවත්වයි

ශ්‍රී ලංකන් ගුවන් ගමන් අප්‍රේල් 8 සිට නවත්වයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙතෙක් සිදු කළ ගුවන් ගමන් ලබන අප්‍රේල් 8 වැනිදා සිට 21 වැනි දින දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව පවසයි. දැනට ක්‍රියාත්මක ගුවන් ගමන් සීමාවන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවත්, ඒ සම්බන්ධයෙන් සිය වටිනා මගීන්ට කණගාටුව ප්‍රකාශ කරන බවත් ගුවන් සමාගම නිවේදනයක් මගින් සඳහන් කරයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිරන්තරයෙන්ම වෙළෙඳ පොළ තත්ත්වයන්හා විවිධ බලධාරීන් විසින් පනවා ඇති ගුවන් සීමාවන් සමාලෝචනය කරමින් සිටින බවත්, එවැනි සීමාවන් ඉවත් කරනු ලැබුවහොත් අප්‍රේල් 21 වැනි දිනට පෙර කෙටි දැනුම්දීමකින් වුවද සිය මෙහෙයුම් නැවත ඇරඹීමට සූදානම්ව සිටින බවත් සමාගම පවසා සිටියි.

එසේම මෙම කාලසීමාව තුළදී අවශ්‍ය වුවහොත් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම සඳහා විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට තමන් කැමැත්තෙන් සිටින බවත් ගුවන් සමාගම සඳහන් කරයි.

කෙසේ වෙතත් ගුවන් සේවයෙහි ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා පවතින ලෝක ව්‍යාප්ත ජාලය අනුව අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇති බවත්, අවශ්‍ය විටෙක ඒ සඳහා විශේෂ ගුවන් ගමන් සිදු කරනු ඇති බවත් සමාගම පවසා සිටියි.

මෙම තීරණයෙන් අපහසුතාවට පත්වන මගීන්ට උපරිම පහසුව සැලසීමේ අදහසින් ගුවන් ප්‍රවේශ පත්‍ර නැවත වෙන් කරවා ගැනීම සහ නැවත නිකුත් කිරීම සඳහා කටයුතු යොදා ඇති බවත්, www.srilankan.com හරහා එම කටයුතු සිදු කර ගත හැකි බවත් ඔවුන් පවසයි.

එසේම මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ළගම ඇති ශ්‍රී ලංකන් කාර්යාලයෙන් මෙන්ම +94117771979 දුරකතන අංකයෙන් ගුවන් සමාගමේ ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය ඇමතීමෙන්ද ලබා ගත හැකි බවත් නිවේදනයේ සඳහන් වෙයි.

ලෝකයේ අන් සියලු ගුවන් සේවා මෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයද මේ පසුකර යන්නේ ඉතාම දුෂ්කර හා අවසානවන්ත කාල පරිච්ඡේදයක් බවද ගුවන් සමාගම පවසා සිටියි.

Visits: 42