කොටස් වෙළෙඳ පොළ හෙටත් වසයි

කොටස් වෙළෙඳ පොළ හෙටත් වසයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ හෙට (18 දා) දිනය තුළත් වසා තැබෙනු ඇතැයි කොටස් වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි. රජය පෙරේදා මධ්‍යම රාත්‍රියේදී නිකුත් කළ දින තුනක (17,18 සහ 19) විශේෂ නිවාඩු කාලසීමාව ප්‍රකාරව  මෙම කටයුතු සිදු වෙනු ඇතැයි සඳහන් වෙයි.

මෙහිදී කොටස් වෙළෙඳ පොළ හෙට දිනයේදීද වසා තැබීම පිළිබඳ අවසන් තීන්දුව ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ ඉහළ නිලධාරීන් සහ කොළඹ කොටස් වෙළෙඳපොළේ නිලධාරීන් අතර අද පැවැති සාකච්ඡාවකදී ගෙන ඇතැයි පැවසෙයි.

විශේෂයෙන්ම COVID-19 වෛරසයේ ව්‍යාප්තියත් සමගම කොටස් වෙළෙඳපොළ තුළ ඇතිවිය හැකි අර්බුද වැළැක්වීම සඳහා ගනු ලබන තවත් එක් පියවරක් ලෙස මෙම කොටස් වෙලෙඳ පොළ වසා තැබීමේ තීරණයකට ඔවුන් පිවිස ඇතැයි සඳහන් වෙයි.

මේ සම්බන්ධයෙන් ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ අද දහවල් කොටස් වෙළෙඳ පොළ නියෝජිතයෙකුගෙන් සිදු කළ විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ, අද (17දා) දිනයේදීද කොළඹ කොටස් වෙළෙඳපොළ වසා දැමුවේද අද අලුයමදී ගත් තීරණයක් අනුව බවයි.

පසුගිය ඉරිදා (15දා) දිනයේදී රජය ගත් තීරණයකට අනුව සඳුදා (16දා) දිනය රජයේ, බැංකු සහ වෙළෙඳ නිවාඩුවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමගම එදිනද කොළඹ කොටස් වෙළෙඳ පොළ වසා දැමීම සිදු විය.

මේ අතර, කොළඹ කොටස් වෙළෙඳපොළ හෙට දිනයේදීද වසා දැමීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් එහි කොටස් තැරැව්කාර සමාගම්ද සිය කැමැත්ත පළ කර තිබේ.

අද සන්ධ්‍යාවේදී කොරෝනා වැළැක්වීමේ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය වූ කරුණු අනුව මෙරට තුළ COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 34 දක්වා ඉහළ නැග තිබේ. එසේම අද දිනයේ සිට ගුවන් තොටුපොළද සති දෙකක කාලයකට වසා දැමීමට ජනාධිපතිවරයාද තීරණය කර ඇතැයි අද දහවල් ප්‍රකාශ කළේය.

Views: 192