කටුනායක ගුවන් තොටුපොළ පාලුවට යයි

කටුනායක ගුවන් තොටුපොළ පාලුවට යයි

කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සති දෙකක කාලයකට වසා දැමීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණයෙන් පසුව මේ වනවිට එම ගුවන් තොටුපොළ මෙහෙයුම් සිදුවන ආකාරය පිළිබඳව ‘ඒවියේෂන් වොයිස්’ වෙබ් අඩවිය ඡායාරූප කිහිපයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මේ වනවිට එම ගුවන් තොටුපොළ දැඩි පාලු ස්වභාවයක් ගෙන ඇති අතර, ඉතාමත් සීමිත මෙහෙයුම් කිහිපයක් සිදුවන ආකාරයක් එහි සටහන්ව ඇත.

ජනාධිපතිවරයා අද දහවල් ජනපති මන්දිරයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී මෙලෙස ගුවන් තොටුපොළ සති දෙකකට වසා දමන බවත්, එය අද පස්වරු 3.00 සිට ක්‍රියාත්මක වන බවත් සඳහන් කර තිබුණි. කෙසේ වෙතත් පසුව ලැබුණු ආරංචියකට අනුව එය අද  මධ්‍යම රාත්‍රියේ සිට සිදුවීමට නියමිතව ඇතැයිද සඳහන්ව තිබේ.

මේ අතර, ගුවන් තොටුපොළ වසා දැමීමේ කටයුතු හෙට මධ්‍යම රාත්‍රියේදී සිදුවන බවක්ද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආරංචි මාර්ග හරහා වාර්තා වෙයි.

බොහෝ විට ජනාධිපතිවරයා අද රාත්‍රියේදී සිදු කරන ඇමතීමේදී මේ පිලිබඳව කරුණු අනාවරණ කෙරෙනු ඇතැයි අදහස වී තිබේ.

ඊයේ දිනයේදී ගුවන් හමුදාව කටුනායක ගුවන් තොටුපොළ පිරිසිදු කිරීමේ මෙහෙයුමක්ද දියත් කළ අතර, එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා කටුනායක ගුවන් තොටුපොළ වසා දැමීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් එහි කටයුතු එලෙසින්ම සිදුවන බවත් පවසා සිටියේය.

ඡායාරූප – ඒවියේෂන් වොයිස්

Views: 30