කාර්ගිල්ස් ‘සැමන්’ රාක්කවලින් ඉවත් කරයි

කාර්ගිල්ස් ‘සැමන්’ රාක්කවලින් ඉවත් කරයි

ජනාධිපතිවරයා විසින් වෙළෙඳ පොළෙහි ඇති සැමන් නිෂ්පාදන සඳහා රුපියල් 100ක උපරිම පාලන මිලක් නියම කිරීමත් සමගම, කාර්ගිල්ස් ෆුට් සිටි සුපිරි වෙළෙඳ සැල් තම ‘මයි චොයිස්’ සන්නාමය යටතේ ඇති මැකරල් (සැමන්) ටින් සියල්ලම සිය රාක්කවලින් ඉවත් කරමින් සිටින බව වාර්තා වෙයි.

රුපියල් 260ක් ලෙස මිල කෙරී ඇති මෙම මැකරල් නිෂ්පාදනයක් ජනාධිපතිවරයා සඳහන් කළ රුපියල් 100ක මුදලකට ලබා දීමට නොහැකි වීම ඊට හේතුව බවත්, ඒ නිසා මෙලෙස රාක්කවලින් එම නිෂ්පාදන ඉවත් කිරීමට තමන්ට ප්‍රධාන කාර්යාලයෙන් උපදෙස් ලැබුණු බවත් කාර්ගිල්ස් ෆුට්සිටි කළමනාකරුවෙකු ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ වෙත සඳහන් කළේය.

“ඊයේ රෑ ජනාධිපතිතුමා සැමන් ටින් එකක් සඳහා ලබා දුන් රුපියල් 100ක මිල නිසා පාරිභෝගිකයන් හැමෝම සැමන් නිෂ්පාදන එම මිලට බලාපොරොත්තු වෙනවා. ඒත් අපේ බ්‍රෑන්ඩ් එකක් වෙන ‘මයිචොයිස්’ මැකරල් ටින් එකක් වුණත් ඒ මිලට දෙන්න බැහැ. ඒ වගේම රුපියල් 100කට මිල කළේ ග්‍රෑම් කීයක් බර සැමන් ටින් එකක්ද කියලා තවමත් නිල වශයෙන් නම් කරලා නැහැ.” ඔහු පැවසීය.

රුපියල් 260ක මුදලකට මිල කෙරී ඇති ග්‍රෑම් 450ක් වන මෙම මයි චොයිස් මැකරල් ටින් එකක් මේ දිනවල සෑම කාර්ගිල්ස් ෆුට් සිටි සුපිරි වෙළෙඳ සැලක් තුළම වට්ටම් මුදලක් යටතේ රුපියල් 192කට ලබා දීම සිදු වෙයි.

“දැනට අපි මේ මැකරල් ටින් එකක් දෙන්නේ රුපියල් 68ක් අඩුවෙන්. හැබැයි ජනාධිපතිතුමා කිව්ව විදියට රුපියල් 100කට දෙන්න ගියොත් අපිට මේ ටින් එකක සඳහන් මුදලින් රුපියල් 160ක් අඩු කරන්න වෙනවා. ඒ වගේම දැන් දෙන වට්ටම් මුදලේ ඉදන් තවත් රුපියල් 92ක් අඩු කරන්න වෙනවා. එය කරන්න අමාරු දෙයක්.” කළමනාකරවරයා පවසා සිටියේය.

කාර්ගිල්ස් සිලෝන් පෞද්ගලික සමාගම සිය මයිචොයිස් සන්නාමය යටතේ තවත් නිෂ්පාදන රැසක්ම තම සුපිරි වෙළෙඳසැල් තුළ අලෙවියට තබා තිබේ. මෙම මයිචොයිස් මැකරල් නිෂ්පාදනයක් මීට පෙර එම වෙළෙඳසැල් තුළ රුපියල් 129 ක මුදලකටත් අලෙවි වී තිබේ.

මේ අතර ඊයේ රාත්‍රියේ සිට පරිප්පු කිලෝවක මුදල රුපියල් 65 දක්වා අඩු කිරීමත් සමගම පාරිභෝගිකයන් වැඩි වශයෙන්  පරිප්පු මිලදී ගැනීමට යොමුවී සිටින බවත් කාර්ගිල්ස්හි සේවිකාවක ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ වෙත පැවසුවාය.

Visits: 153