Hsenid Business Solutions වෙතින් මුදල් සහ කොටස් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත තොරතුරු තාක්ෂණික මානව සම්පත් කළමනාකරණ පද්ධති සමාගමක් වන Hsenid Business Solutions PLC සමාගම (HBS.N0000) සිය කොටස් හිමිකරුවන් වෙත මුදල් සහ කොටස් ලාභාංශ ගෙවීමක් සිදු කිරිමට සූදානමින් සිටින බව පවසයි.

පසුගියදා රැස් වුණු එම සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය මගින් මේ පිළිබඳ තීරණය ගෙන තිබේ. ඒ අනුව 2024 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ගෙවන අවසන් ලාභාංශ ගෙවීමක් ලෙස මෙම මුදල් සහ කොටස් ලාභාංශ ගෙවීමට නියමිතව තිබේ.

මෙහිදී සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.25ක් බැගින් මුදල් ලාභාංශ ගෙවන බව සමාගම පවසයි.

මෙම ලාභාංශ ගෙවන දිනය සැප්තැම්බර් 05 වැනිදා ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර ලාභාංශ රහිත දිනය (XD Date) අගෝස්තු 16 වැනිදා ලෙස නම් කර තිබේ.

අදාළ ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවියයුතුව ඇති බවත් සමාගම පවසයි.

මේ අතර, සමාගම සඳහන් කරන ආකාරයට සිය කොටස් හිමිකරුවන්ට මෙම ලාභෘංශ ලබා ගැනීමේදී විසඳුම් තුනක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව පළමු අවස්ථාව ලෙස කොටස් හිමිකරුවන්ට ලාභාංශ ලෙස මුදල් ලබා ගැනීමේ හැකියාව පවතී. එසේත් නොමැති නම් එම ලාභාංශ වටිනාකමට අලුතින් කොටස් ලාභාංශ ලෙස කොටස් ලබා ගැනීමේ හැකියාව පවතී. එසේත් නොමැති නම් ලාභාංශ වටිනාකමින් 50%ක් මුදල් ලාභාංශ ලෙසත්, ඉතිරි 50%ක ප්‍රතිශතය කොටස් ලාභාංශ ලෙසත් ලබා ගැනීමට හැකිය.

මෙම ලාභෘංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය ලබා ගැනීම සඳහා වන මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන අගෝස්තු 15 වැනිදා පැවැත්වෙන බවත් Hsenid Business Solutions PLC සමාගම පවසයි.

ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී Hsenid Business Solutions PLC සමාගමේ කොටසක වටිනාකම රුපියල් 12.50ක් ලෙස සටහන්ව තිබුණි.

Views: 0