‘කැපිටල් මාර්කට් මාස්ටර්ස්’ 02 වන කාණ්ඩයේ තරග අනුරාධපුරයේදී සාර්ථකව නිමාව දකී

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) අධ්‍යාපන අමාත්‍යාශය සහ ජනාධිපති ලේකම් කාර්යාලය සමඟ එක්ව සංවිධානය කරන ලද ‘ප්‍රාග්ධන වෙළඳපොළ මාස්ටර්ස් (Capital Market Masters)’, අදියර 01 හි අන්තර් පාසල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ ප්‍රශ්ණ විචාරාත්මක 02 වන කාණ්ඩයේ තරඟය, පසුගියදා අනුරාධපුරයේදී සාර්ථකව නිම කරන ලදී.

උතුරු පළාතේ, උතුරු මැද පළාතේ සහ වයඹ පළාතේ ස්ථාපිත පාසල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ නියෝජනය කරමින් පැවැත්වන ලද මෙම අවස්ථාවට 200කට අධික පිරිසක් සහභාගි වූහ.

උතුරු පළාතේ යා/කොකුවිල් හින්දු විද්‍යාලය 02 වන කාණ්ඩයේ සමස්ත ජයග්‍රාහකයා ලෙස මෙන්ම උතුරු පළාතේ ජයග්‍රාහකයා බවට ද පත් විය. පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලය සහ කු/මලියදේව බාලිකා විද්‍යාලය පිළිවෙලින් උතුරු මැද පළාතේ සහ වයඹ පළාතේ පළාත් ශූරතා හිමිකර ගත්හ.

මෙම උත්සවයේදී සිසුන් අමතමින් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ විදේශ සබඳතා ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී ෂීනා ගුණරත්න මහත්මිය “මූල්‍ය සාක්ෂරතාව අත්‍යවශ්‍ය ජීවන කුසලතාවක් වන අතර, ඉතුරුම්, ආයෝජනවල වැදගත්කම සහ ප්‍රාග්ධන වෙළෙඳපොළේ කාර්යභාරය සහ ප්‍රතිලාභ පිළිබඳව පාසල් දරුවන්ට ඉගැන්වීම ඉතා වැදගත් වේ. කුඩා කල සිටම ප්‍රාග්ධන වෙළඳපොළ පිළිබඳව දරුවන්ට දැනුවත් කිරීම මගින්, ඔවුන්ගේ ජීවිත කාලය පුරාම ඥානවන්තව ආයෝජනය කිරීමට, මූල්‍ය සංකල්ප කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය වැඩි කිරීමට සහ ඔවුන්ගේ තීරණ ගැනීමේ හැකියාව ඉහළ නැංවීමට අදාල කුසලතා සහ දැනුම ඔවුන්ට ලබා දෙනු ලැබෙනවා” යනුවෙන් පැවසුවාය.

02 වැනි පළාත් තරගය අවසන් වීමත් සමඟ 03 වන කාණ්ඩය සදහා ප්‍රාග්ධන වෙළෙඳපොළ මාස්ටර් ශූරතාව සඳහා තරග කිරීමට එක්වන මධ්‍යම පළාතේ හොඳම සහ කැපී පෙනෙන පාසල් වෙත දැන් අවධානය යොමු වේ.

Views: 0