Windforce PLC සැන්සිබාර් හිදී ඉදි කළ 389kWp ක සූර්ය බලාගාරයක මෙහෙයුම් අරඹයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන සමාගමක් වන Windforce PLC සමාගම (WIND.N0000) අප්‍රිකානු මහාද්වීපයේ පිහිටි සැන්සිබාර්හිදී කිලෝවොට් පීක් (Kilo Watt peak (Wp) 389ක (389kWp) ධාරිතාවකින් යුත් සූර්ය බලාගාරයක මෙහෙයුම් පසුගිය ජූලි 15 වැනිදා ආරම්භ කළ බව පවසයි.

භූමිය මත සවි කළ සූර්ය බලාගාර ව්‍යාපෘතියක් වන මෙහි ඉංජිනේරුමය නිර්මාණය, ප්‍රසම්පාදනය, පිහිටුවීම, අත්හදාබැලීම සහ මෙහෙයුම් සිදු කිරීම යනාදිය Windforce PLC සමාගම මගින් සිදු කර තිබේ.

එම සමාගමට අනුව මෙම ව්‍යාපෘතිය පිළිබඳ මූලික නිවේදනය 2023 නොවැම්බර් මාසයේදී සිදු කර ඇති අතර, ඒ අනුව වසරකටත් අඩු කාලයකදී එහි කටයුතු සම්පූර්ණ කිරීමට හැකියාව ලැබී තිබේ.

Windforce PLC සමාගමෙහි කොටස් හිමිකාරීත්වයෙන් 36.48%ක ප්‍රතිශතයක් අක්බාර් බ්‍රදර්ස් (පෞද්) සමාගම වෙත හිමිය. එසේම 20.67%ක ප්‍රතිශතයක් හයිද්‍රාමනී පෞද්ගලික සමාගම වෙත හිමිව තිබේ.

වර්තමානයේදී ශ්‍රී ලංකාවේ විශාලතම පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයා ලෙස Windforce PLC සමාගම ශ්‍රී ලංකාවට අමතරව, යුක්රේනය, පාකිස්තානය සහ උගන්ඩාව තුළ සිය මෙහෙයුම් සිදු කරයි. එහිදී සුළං, සූර්ය සහ ජල විදුලි බලාගාර ලෙස මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වෙයි.

Views: 0