ජූනි මාසයේදී සමස්ත අපනයන ආදායමේ 9.42%ක වර්ධනයක්

මේ වසරේ ජූනි මාසයේදී මෙරට සමස්ත අපනයන ආදායම (භාණ්ඩ හා සේවා) එක්සත් ජනපද ඩොලර් මිලියන 1,354.32ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි. මෙය 2023 වසරේ ජූනි මාසයේදී වාර්තා වූ ඩොලර් මිලියන 1,237.69ක සමස්ත අපනයන ආදායමට සාපේක්ෂව 9.42%ක වර්ධනයකි.

ශ්‍රී ලංකා රේගුව සහ මහ බැංකුව නිකුත් කළ වාර්තා ඉදිරිපත් කරමින් අපනයන සංවර්ධන මණ්ඩලය මෙම කරුණු සඳහන් කර සිටියි.

මේ අතරින් ජූනි මාසයේදී භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 1,031.2ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2023 ජුනි මාසයේදී ලැබුණු භාණ්ඩ අපනයන ආදායම වූ ඩොලර් මිලියන 1,005.3ට සාපේක්ෂව 2.58%ක වර්ධනයකි.

මෙහිදී ඒ සඳහා මූලිකම හේතු වී ඇත්තේ ඇගලුම් සහ රෙදිපිළි, තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ආහාර පාන, කුළුබඩු සහ සාන්ද්‍ර ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ඉහළ යාම බවත් අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.

එසේම 2024 ජුනි මාසය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 323.13 ක් වූ අතර, එය 2023 ජුනි මාසයේදී හිමි වූ ඩොලර් මිලියන 232.39ක සේවා අපනයන ආදායමට වඩා 39.05% ක ඉහළයාමක් පෙන්නුම් කර තිබේ.

මෙහිදී තොරතුරු තාක්ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය, ඉදිකිරීම්, මූල්‍යමය සේවා, ප්‍රවාහන සහ කාර්යෝපාය සේවා යන ක්ෂේත්‍රවල සිදු වූ ආදායම් වර්ධනය මීට හේතුව වී තිබේ.

මේ අතර 2024 වසරේ ජනවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා කාලය තුළ හිමි වූ සමස්ත අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 7,769.88ක් ලෙස සටහන්ව තිබේ. එය 2023 වසරේ එම කාලසීමාවේදී ලැබුණු ආදායම වූ ඩොලර් මිලියන 7,359.70 හා සැසඳීමේදී 5.57%ක වර්ධනයකි.

Views: 0