කැලණි කේබල්ස් වෙතින් කොටසකට රුපියල් 10 බැගින් රු.මිලියන 218ක ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කැලණි කේබල්ස් පීඑල්සී සමාගම (KCAB.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 10ක් බැගින් මෙම ලාභාංශ ගෙවීම සිදු වෙයි.

මෙය 2023/24 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අතරමැදි ලාභාංශ ගෙවීමක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස අගෝස්තු 21 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) අගෝස්තු 01 වැනිදා නම් කර තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නැති බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

කැලණි කේබල්ස් පීඑල්සී සමාගම මගින් මේ වනවිට නිකුත් කර ඇති සමස්ත ඡන්ද හිමි කොටස් ප්‍රමාණය කොටස් 21,800,000 කි.

මෙම කොටස් අතරින් කොටස් 16,349,348ක එනම් 75%ක හිමිකාරීත්වයක් පවතින්නේ ලංකා ඔලෙක්ස් කේබල්ස් (පෞද්) සමාගම වෙතයි. කොටස් 933,756ක් එනම් 4.3%ක ප්‍රතිශතයක් ACL Cables PLC වෙත හිමිව තිබේ.

මේ අතර අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී කැලනි කේබල්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 287.75ක් ලෙස සටහන් විය. එය පෙර දිනයේදී කොටසක වටිනාකම වූ රුපියල් 284.00 හා සැසඳීමේදී රුපියල් 3.75ක එනම් 1.32%ක වැඩි වීමකි.

Views: 0