ඩ්‍රෝන 500කින් වැඩ පෙන්නපු භාතිය-සන්තුෂ්ගේ අලුත්ම තාක්ෂණික සමාගම InnovateX

මෙවර ලංකා ප්‍රීමියර් ලීග් (LPL) තරගාවලිය යටතේ ඊයේ රාත්‍රියේදී පැවැති අවසන් මහා තරගයේදී සංවිධානය කෙරුණු ඩ්‍රෝන යානා 500කින් සමන්විත ඩ්‍රෝන යානා සංදර්ශනය පිළිබඳව මේ දිනවල බොහෝ දෙනා අතර කතාබහට ලක්ව තිබේ.

විශේෂයෙන්ම මෙවැනි අත්දැකීමක් මීට පෙර ශ්‍රී ලාංකිකයන්ට හිමිව නොතිබීම ඊට හේතුවයි. මෙම සංදර්ශනයේදී ශ්‍රී ලංකා සිතියම, ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝගෝව, IPG ලෝගෝව, LPL ලෝගෝව මෙන්ම, ලසිත් මාලිංග, සනත් ජයසූරිය සහ කුමාර් සංගක්කාර යන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හැඩරුව සහිත ඩ්‍රෝන සටහන් අහසේ ඇඳීම සිදුවිය.

වාර්තා සඳහන් කරන ආකාරයට මෙම ඩ්‍රෝන සංදර්ශනය පැවැත්වූ සමාගම වන්නේ Innovate X නම් සමාගමකි. මෙය මෙරට සුප්‍රසිද්ධ ගායක යුවලක් වන භාතිය සහ සන්තුෂ්ගේ මූලිතත්වයෙන් ආරම්භ කෙරුණු තාක්ෂණික විනෝදාස්වාදන සමාගමක් ලෙස සැලකෙයි.

මෙහිදී ඉන්දියාවේ ප්‍රමුඛතම ඩෝන තාක්ෂනික සමාගමක් වන Botlab Dynamics සමාගමේ බලගැන්වුමෙන් මෙම අවස්ථාව සංවිධානය කිරීමට Innovate X පියවර ගෙන තිබේ.

Innovate X සමාගම භාතිය – සන්තුෂ් දෙපළට අයත් මෙරට ප්‍රමුණඛතම ඉසව් නිෂ්පාදන සමාගමක් වන Showtown Entertainment සහ මෙරට පිහිටි ජාත්‍යන්තර ආයෝජන සමාගමක් බව පැවසෙන RNH International එක්ව පිහිටවුණු සමාගමකි.

මෙම RNH International සමාගම මෙරට තුළ සිට ක්‍රියාත්මක වන ආයුධ වෙළෙඳාමේ නිරත සමාගමකි. යුදසමයේදී මෙරට වෙත ආයුධ ගෙන්වීම සඳහා දායක වූ එම සමාගම යුද්ධයෙන් අනතුරුව වෙනත් ආයෝජන අවස්ථා වෙත යොමුව තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස අද වනවිට එම සමාගම තොරතුරු සන්නිවේදන තාක්ෂණය, ව්‍යාපාර උපදේශනය, ජාත්‍යන්තර වෙළෙඳාම, දේපළ වෙළෙඳාම් ඇතුළු තවත් ක්ෂේත්‍ර වෙත පිවිස තිබේ.

මෙම Innovate X සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වන්නේ දිනුක් හෙට්ටිආරච්චි (RNH International), භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන් (Showtown Entertainment), හිරන්ත ගුණසේකර (RNH International) සහ අනිටා අහ්ලාවාට් යන අයයි. මේ අතරින් අනිටා BotLab Dynamics හි හවුල්කාරීත්ව ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

මෙවර LPL තරගාවලියේදී පැවැත්වූ මෙම ඩ්‍රෝන සංදර්ශනය Innovate X සමාගම මෙරට තුළ සිදුකළ පළමු මහාපරිමාණ සංදර්ශනය ලෙසද සැලකෙයි. ඉදිරියේදී තවත් %දැවැන්ත පරිමාණ% අවස්ථාවන් සඳහා දායකවීමටත් Innovate X කටයුතු කරන බව පවසා සිටියි.

Views: 0