හදිසි තාක්ෂණික බිඳ වැටීමෙන් ලොව පුරා ගුවන්, බැංකු සහ මාධ්‍ය ඇතුළු සේවා රැසක් අඩාල වෙයි

අද දිනයේදී සිදු වූ හදිසි තොරතුරු තාක්ෂණික බිඳ වැටීමත් සමගින්ම ලොව පුරා සේවා රැසක් අඩාල වූ බව වාර්තා වෙයි.

ඒ අනුව එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, යුරෝපය, ඔස්ට්‍රේලියාව, ජපානය සහ ඉන්දියාව ඇතුළු රටවල් රැසක ගුවන් ගමන් සේවා, බැංකු, මාධ්‍ය ආයතන, කොටස් වෙළෙඳ පොළ යනාදිය තුළ සේවා බිඳ වැටීම් සිදුව තිබේ.

මෙහිදී එක්සත් ජනපදයේ යුනයිටඩ් ගුවන් සේවය, ඩෙල්ටා ගුවන් සේවය සහ ඇමෙරිකන් එයාර්ලයින්ස් ගුවන් සේවය සිය ගුවන් ගමන් තාවකාලිව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. එසේම ඔස්ට්‍රේලියාවේ වර්ජින්, ජෙට්ස්ටාර් ගුවන් සේවා සිය ගුවන් ගමන් ප්‍රමාද කර තිබේ.

මීට අමතරව අයර්ලන්තයේ බෙල්ෆාස්ට් අගනුවර ගුවන් තොටුපොළ කටයුතු බිඳ වැටීමෙන් අනතුරුව මගීන්ට තොරතුරු ලබාදීම සඳහා තාක්ෂණික ක්‍රමවේදය වෙනුවට සටහන් පුවරු මත ලියූ තොරතුරු ප්‍රදර්ශනය කරවූ බවත් සඳහන් වෙයි.

මේ අතර දුම්රිය සේවා වෙතද මෙම තොරතුරු තාක්ෂණික දෝෂය බලපා තිබේ. එසේම විවිධ ඇප් පාදක මුදල් ගෙවීම් සඳහාද මෙය බලපා තිබේ. වාර්තා සඳහන් කරන ආකාරයට බ්‍රිතාන්‍යයේ ස්කයි නිවුස් පුවත් නාලිකාවේ විකාශන කටයුතුද තාවකාලිකව බිඳවැටී තිබේ.

මෙම තාක්ෂණික බිඳවැටීම සඳහා මයික්‍රොසොෆ්ට් සමාගම සිදුකළ යාවත්කාලීන කිරීමක් විය හැකි බවට අදහස් පළ වී තිබේ.  එම සමාගමේ මයික්‍රොසොෆ්ට් 365 සේවාවේ යාවත්කාලීන කිරිමක් අද දිනයේදී සිදු කරන බවට ඊයේ නිවේදනය කර තිබුණි. ඒ අනුව මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණක පද්ධති තුළ මෙම දෝෂය හට ගන්නට ඇතැයි සඳහන් වෙයි.

මේ සම්බන්ධයෙන් බී.බී.සී. පුවත් සේවය වෙත අදහස් දක්වා ඇති මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රකාශකයෙකු බලපෑමට ලක් වූ සේවා අතරින් බොහෝමයක් යථාවත් කිරිමට හැකියාව ලැබී ඇතැයි පවසා තිබේ.

මේ අතර ඇතැම් රටවල් මෙම බිඳවැටීම සයිබර් ප්‍රහාරයක් ලෙසද සැක කර ඇති අතර, ඒ සඳහා වන ආරක්ෂාව වැඩි කිරීමටද පියවර ගෙන තිබේ.

Views: 0