ඉන්දියාවේ ඇප් පාදක භාණ්ඩ ඩිලිවරි සේවා තුනක් සිය භාණ්ඩ අතරට මත්පැන් එක් කිරීමට යයි?

ඉන්දියාව තුළ ක්‍රියාත්මක ඇප් පාදක භාණ්ඩ ඩිලිවරි සේවා සමාගම් තුනක් වන Zomato, Swiggy සහ BigBasket ඉදිරියේදී සිය භාණ්ඩ වර්ග අතරට මත්පැන්ද එක් කිරීමට සූදානමින් සිටින බව එරට මාධ්‍ය පවසයි.

ඒ අනුව ඇල්කොහොල් ප්‍රතිශතය අඩු බියර්, වයින් සහ වෙනත් මත්පැන් වර්ග මෙහිදී ඩිලිවරි කිරීම සඳහා එම සමාගම් කටයුතු කරනු ඇතැයි සඳහන් වෙයි.

ඉන්දියානු මාධ්‍ය වාර්තාවලට අනුව මෙම වැඩපිළිවෙලහි නියමු ව්‍යාපෘතියක් ලෙස ඉදිරියේදී නවදිල්ලියද ඇතුළුව කර්නාටක, හර්යානා, පන්ජාබය, තමිල් නාඩුව, ගෝආ සහ කේරලය යන ප්‍රාන්ත තුළ මෙම සේවාව ඇරඹීම සැලසුම වී තිබේ.

මෙහිදී අදාළ සේවාව සඳහා අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් ඉ-වානිජ වේදිකාවන්ගෙන් සහ මත්පැන් නිෂ්පාදකයන්ගෙන් අදහස් විමසීමටත් බලධාරීන් පියවර ගෙන තිබේ.

විශේෂයෙන්ම ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවිය හරහා ඇතිවිය හැකි ප්‍රතිලාභ සහ අවාසි මොනවාද යන්න හඳුනාගැනීම එහි අරමුණ වී තිබේ.

මෙලෙස මත්පැන් ඩිලිවරි සඳහා ඉදිරිපත්ව සිටින  සමාගම් අතරින් Zomato සමාගම 2010 වසරේදී දීපින්දර් ගොයාල් විසින් ආරම්භක සමාගමක් ලෙස ආරම්භ කරන ලද්දකි. අද වනවිට ඔහු ඉන්දියාවේ අලුත්ම බිලියනපතියා බවටද පත්ව සිටියි. එසේම 2014 වසරේදී ආරම්භ වූ Swiggy ශ්‍රීහර්ෂ මාජෙටි, නාදන් රෙඩ්ඩි සහ රාහුල් ජායිමිනි යන තිදෙනාගේ එකතුවෙන් ආරම්භ වූවකි. මීට අමතරව BigBasket සමාගමේ වර්තමාන හිමිකරුවා වන්නේ Tata Sons සමාගමයි.

Views: 0