MBSL බැංකුව MBSL රක්ෂණ සමාගමේ හිමිකාරිත්වය අත්හැරීමට සැරසෙයි‍

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත Merchant Bank of Sri Lanka and Finance PLC සමාගම (MBSL.N0000) සිය පරිපාලිත සමාගමක් වන MBSL රක්ෂණ සමාගමෙහි (MBSL Insurance Company Ltd) කොටස් හිමිකාරීත්වය අත්හැරීමට සූදානමින් සිටින බව පවසයි.

පෙරේදා දිනයේදී රැස්වුණු MBSL හි අධ්‍යක්ෂ මණ්ඩලය මගින් ඊට අදාළ මූලික අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව MBSL රක්ෂණ සමාගමෙහි ඇති එම සමාගම සතු 53.81%ක කොටස් හිමිකාරීත්වය මෙලෙස අලෙවි කරන බව සමාගම පවසයි.

කෙසේ වෙතත් අදාළ කොටස් අලෙවි කිරීමේ යොජනාව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසම ඇතුළු නියාමන ආයතනවල අනුමැතිය හිමිවිය යුතුව ඇතැයිද එම සමාගම සඳහන් කරයි.

එසේම MBSL රක්ෂණ සමාගමෙහි කොටස් හිමිකරුවන් සමගින්ද අදාළ කටයුතු සම්බන්ධයෙන් අනුකූලතාවක් ලබාගත යුතුව ඇතැයිද එම සමාගම පවසයි.

මේ අතර අදාළ කොටස් මිලදී ගන්නා සමාගමක් සම්බන්ධයෙන් MBSL රක්ෂණ සමාගම අනාවරණය කර නැත. මේ පිළිබඳ තොරතුරු ඉදිරියේදී සඳහන් කරන බවත් සමාගම පවසා සිටියි.

MBSL රක්ෂණ සමාගම 2004 වසරේදී රක්ෂණ සමාගමක් ලෙස ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ නියමයන්ට අදාළව බලපත්‍ර ලාභී රක්ෂණ සමාගමක් ලෙස  ස්ථාපිත කර තිබේ.

1980 වසරේදී ආරම්භ කෙරුණු Merchant Bank of Sri Lanka and Finance PLC සමාගම ලංකා බැංකුවෙහි කළමනාකරණ උපදේශන සමාගමක් ලෙස මෙහෙයුම් සිදු කර තිබේ. ඒ අනුව එම සමාගම අදටත් ලංකා බැංකුවෙහි අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන සමාගමක් ලෙස මෙහෙයුම් පවත්වාගෙන යයි.

Views: 0