ස්ටාර් ගාමන්ට්ස් සිය පළමු විදෙස් ඇඟලුම් කර්මාන්තශාලාව ටොගෝහිදී ආරම්භ කිරීමට සැරසෙයි

ස්ටාර් ගාමන්ට් සමූහය බටහිර අප්‍රිකානු රටක්වන ටොගෝ හි මහා පරිමාණ ඇඟලුම් අපනයන කර්මාන්තශාලාවක් ඉදිකිරීමට සූදානම්වන බව පසුගියදා නිවේදනය කළේය.

ලෝක බැංකු සමූහයට අයත් අන්තර්ජාතික මූල්‍ය සංස්ථාවේ මූල්‍ය පැකේජයකින් ලැබෙන අමෙරිකානු ඩොලර් මිලියන 15ක ණය ආධාරයක් හරහා මෙම දැවැන්ත ආයෝජනය සිදුකිරීමට නියමිත ය.

මෙය ශ්‍රී ලංකාවෙන් පිටත ස්ටාර් ගාමන්ට් ඇඟලුම් කර්මාන්තශාලාවක් ඉදිකරන පළමු අවස්ථාව වේ. මෙම ව්‍යාපෘතිය මගින් ටොගෝ රාජ්‍යය තුළ රැකියා අවස්ථා දහස් ගණනක් බිහිවනු ඇති අතර, ස්ටාර් ගාමන්ට් සමූහය ද ගෝලීය ඇඟලුම් අපනයන සමාගමක් ලෙස වැඩි කීර්තියක් අත්කරගනු ඇත. මෙය ටොගෝ රාජ්‍යය තුළ ඉදිකෙරෙන පළමු මහා පරිමාණ ඇඟලුම් කම්හල වීම ද තවත් විශේෂත්වයකි.

ටොගෝහි අගනුවරවන ලෝමේ නුවර ආසන්නයේ පිහිටි Plateforme Industrielle d’Adétikopé කර්මාන්ත උද්‍යානයේ ඉදිකෙරෙන මෙම ඇඟලුම් කර්මාන්තශාලාව මගින් ඍජු සහ වක්‍ර රැකියා අවස්ථා 4,520ක් පමණ උත්පාදනය වනු ඇතැයි ගණන් බලා තිබේ.

ඉන් සැළකිය යුතු පිරිසක් කාන්තා ශ්‍රමිකයින් වනු ඇත. වර්ෂ 20230 වනවිට මෙම කර්මාන්තශාලාව හරහා අපනයන කේන්ද්‍රකරගත් අගය එකතුකිරීම් සඳහා ඉහළ දායකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම ස්ටාර් ගාමන්ට්හි cut-make-trim කර්මාන්තශාලාව ලෝමේ නුවර ඉහළ අගය එකතුකළ කර්මාන්ත දාමයක කොටසක් ලෙස මෙහෙයුම් ආරම්භ කරනු ඇත.

අන්තර්ජාතික මූල්‍ය සංස්ථාව මගින් ලබාදෙන අමෙරිකානු ඩොලර් මිලියන 15න්, මිලියන 7.5ක් එම සංස්ථාවේ අරමුදල්වන අතර, ඉතිරි මිලියන 7.5 අන්තර්ජාතික සංවර්ධන සංගමයේ පුද්ගලික අංශ මිශ්‍ර මූල්‍ය පහසුකම යටතේ සම්පාදනය කෙරේ. 

නමදහසකට වැඩි කාර්යමණ්ඩලයකින් යුතු ස්ටාර් ගාමන්ට් සමූහය පුරා දශක හතරක් පුරාවට ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රබල සන්නාමයක් ගොඩනඟාගෙන තිබේ. තිරසරභාවයට ලබාදෙන මුල් තැන ලබාදීම වෙනුවෙන් කීර්තියක් උසුළන ස්ටාර් ගාමන්ට් සමූහයේ කර්මාන්තශාලා අටක් LEED  සහතිකය හිමිකරගෙන ඇති අතර, ලොව ප්‍රථම passive house කර්මාන්තශාලාවට ද සමූහය හිමිකම් කියයි.

ටෝගෝහි ඉදිකෙරෙන ඇඟලුම් කම්හල ද LEED සහතිකය යටතේ ඉදිකරනු ඇත. සමස්ත මෙහෙයුම් ක්‍රියාවලිය තුළ කාබන් විමෝචනය ශූන්‍ය කළ එකම ඇ ඟලුම් සමූහය වන්නේ ද ස්ටාර් ගාමන්ට් සමූහයයි.

Views: 0