ශ්‍රීලංකන් ගුවන් සේවයේ ව්‍යාපාරික පන්තියේ ආසන සඳහා ප්‍රතිචක්‍රීකරණය කල PET ප්ලාස්ටික් යොදා ගනී

ශ්‍රීලංකන් ගුවන් සේවය සිය ව්‍යාපාරික පන්තිය සඳහා ප්‍රතිචක්‍රීකරණය කල PET ප්ලාස්ටික් (rPET) වලින් සාදන ලද නව පරිසර හිතකාමී කොට්ට ආවරණ සහ Headrest කවර (antimacassars) හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

මෙය සිය මඟීන්ට ඉහළම ප්‍රමිතියෙන් යුත් ගුණාත්මක සේවාවක් ලබා දෙන අතරම පරිසරය මත ඇති කෙරෙන බලපෑම අවම කිරීම සඳහා වන ගුවන් සමාගමේ පරිසර හිතකාමී උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්මෙහි තවත් එක් අංගයකි.

කොට්ට ආවරණ සහ Headrest කවර සම්පූර්ණයෙන්ම ප්‍රතිචක්‍රීකරණය කරන ලද PET ප්ලාස්ටික් වලින් සාදන ලද පොලියෙස්ටර් වලින් සාදා ඇත. ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය අවම කිරීමට පමණක් නොව ස්වභාවික සම්පත් සංරක්ෂණයට ද මෙම නව හඳුන්වාදීම උපකාරී වේ.

අමතර rPET නිෂ්පාදන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම වන නිසා අමතර පාරිසරික ප්‍රතිලාභයක් රැසක් ද හිමි වේ. ලොව ප්‍රධාන පෙළේ ගුවන් සේවා සමාගම් සඳහා පහසුකම් සපයන Procurall Solutions අයතනය මෙම නව අංගයන් හඳුන්වාදීමට අවශ්‍ය පහසුකම් සපයයි.

හඳුන්වා දෙන නව කොට්ට ආවරණ සහ Headrest කවර සුවපහසුව මෙන්ම ඇසට ප්‍රිය වර්ණ හා සිත් ඇදගන්නා සුළු මෝස්තරයන් ‍වලින්ද සමන්විත වේ. මෘදු සහ කල් පවතින රෙදි වලින් සාදන ලද ඒවා බැවින් ගමන පුරාවට මඟීන්ට උපරිම සුවපහසුව සහ විවේකය ලබා දෙයි.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ව්‍යාපාරික පන්තිය තුළ පරිසර හිතකාමී rPET පහසුකම් භාවිතයට එක් කිරීම, වඩාත් පරිසර හිතකාමී ගුවන් සේවයක් බවට පත් කිරීමේ දිගුකාලීන සැලැස්ම සාක්ෂාත් කර ගැනීමට තවත් එක් පියවරක් ඉදිරියට තැබීමකි. මීට මාස කිහිපයකට පෙර ශ්‍රීලංකන් ගුවන් යානා තුළ පරිසර හිතකාමී බුමුතුරුණු (Green Carpet) භාවිතයට එක් කිරීමට ද ගුවන් සේවය කටයුතු කළේ ය.

Views: 0