කොමර්ෂල් බැංකුව 13 වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ‘ෆයිනෑන්ස් ඒෂියා‘ හිදී සම්මාන දිනයි

ආසියානු මූල්‍ය වෙළඳපොළ පිළිබඳ ලොව ප්‍රමුඛතම තොරතුරු මූලාශ්‍රවලින් එකක් වන ෆයිනෑන්ස් ඒෂියා විසින් ශ්‍රී ලංකාවේ දේශීය බැංකු අතුරින් හොඳම බැංකුව කොමර්ෂල් බැංකුව බව යළි තහවුරු කර ඇත.

කොමර්ෂල් බැංකුව, ෆයිනෑන්ස් ඒෂියා හි මෙම කීර්තිමත් නාමයෙන් පිදුම් ලැබූ 13 වැනි වසර වීම කැපී පෙනේ.

ජුනි 27 වන දින හොංකොං හි Ritz Carlton හි පැවති ෆයිනෑන්ස් ඒෂියා සම්මාන උළෙලේදී මෙම ගෞරවනීය සම්මානය කොමර්ෂල් බැංකුව වෙත පිරිනමන ලදී. බැංකුව වෙනුවෙන් සම්මානය පිළිගත්තේ බැංකුවේ ප්‍රධාන අවදානම් නිළධාරී කපිල හෙට්ටිහාමු මහතා ය.

මෙම සම්මානය දිනාගැනීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවසීය: “මෙම අගය කිරීම මගින් අවධාරණය වන්නේ බොහෝ ලෙස උච්චාවචනය වන බාහිර පරිසර සාධක තිබියදීත් බහුවිධ ඇගයීම් ක්ෂේත්‍ර හරහා කැපී පෙනෙන කාර්ය සාධනයක් ලබා දීමේ විශිෂ්ඨත්වය හා බැංකුවේ උපායමාර්ගික සුචල්‍යතාව යි. හිතකර මෙන්ම පීඩාකාරී තත්වයන් වලදී ද ශක්තිමත්ව සිටීමට අපට ඇති නොසැලෙන හැකියාව, අපගේ උපායමාර්ගික දූරදර්ශීබව සහ මෙහෙයුම් පරිපූර්ණත්වය එමගින් පිළිඹිඹු වේ. මෙම සම්මානය, අපගේ දිගුකාලීන දැක්ම, නොසැලෙන කැපවීම සහ අපගේ පාර්ශවකරුවන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබඳ සාක්ෂියකි.”

මෙම වසරේ ෆයිනෑන්ස් ඒෂියා සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුව සමඟින් ඔවුන්ගේ රටවල්වල හොඳම බැංකු ලෙස ශ්‍රේණිගත කරන ලද අනෙකුත් ෆයිනෑන්ස් ඒෂියා සම්මානලාභීන් වූයේ හොංකොං හි බෑන්ක් ඔෆ් චයිනා, තායිවානයේ CTBC, ඉන්දුනීසියාවේ බෑන්ක් ඔෆ් මන්ඩිරි, මැලේසියාවේ පබ්ලික් බෑන්ක්, වියට්නාමයේ ටෙක්කොම්බෑන්ක් , පකිස්ථානයේ ඇලයිඩ් බෑන්ක් සහ බංග්ලාදේශයේ සිටි බෑන්ක් යන බැංකුය.

Views: 0