MAS සමාගම 2024 පැරිස් ඔලිම්පික් උළෙලෙහි ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඟලුම් සහකරු වෙයි

MAS Holdings 2024 පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඟලුම් සහකරු ලෙස කටයුතු කරන බව පසුගියදා කොළඹදී පැවති විශේෂ උත්සවයකදී නිවේදනය කළේය. ඔලිම්පික් තරඟ සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත නිල වශයෙන් එම ක්‍රීඩා ඇඟලුම් කට්ටල භාර දීමද මෙහිදී සිදු විය.

ඊට අමතරව අධ්‍යාපන අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී හෙට දවසේ ඔලිම්පික් තරඟ නියෝජනය කිරීම වෙනුවෙන් තරුණ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීම, සංවර්ධනය හා සහයෝගය ලබා දීම අරමුණු කොට ගත් MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය දියත් කිරීමද සිදු විය.

ඔලිම්පික් තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත සුබ පැතුම් එක් කරමින් MAS Holdings හි සම නිර්මාතෘ හා සභාපති දේශමාන්‍ය මහේෂ් අමලියන් මහතා සඳහන් කර සිටියේ “ශ්‍රී ලංකාවේ ඔලිම්පික් බලාපොරොත්තු සාක්ෂාත් කර ගැනීම හා විශිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තරයට දායාද කිරීම වෙනුවෙන් නව පරපුරක් පුහුණු කිරීම ඉතා වැදගත් වනවා. මෙවර ඔලිම්පික් තරඟාවලිය වෙනුවෙන් සහභාගී වන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපගේ සුභ පැතුම් එක් කර සිටින අතර ඔවුන් දිරි ගැන්වීම වෙනුවෙන් එක් වන ලෙස සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටීමට කැමතියි” යනුවෙනි.

මෙවර ඔලිම්පික් තරඟාවලිය වෙනුවෙන් සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඟලුම් කට්ටලය නිර්මාණය කිරීමේ වගකීම MAS හි අනුබද්ධ ආයතනයක් වන Bodyline පුද්ගලික සමාගම වෙත පැවරුන අතර ඔවුන් ඒ සඳහා ඓතිහාසික ඇම්බැක්කේ දේවාල කැටයම්හි අන්තර්ගත සුවිශේෂී කැටයමක් වන ‘අංගම්පොර’ කැටයම යොදා ගනු ලැබුවේ ප්‍රොඪ දේශීය අභිමානය ලොවට ගෙන හැර පෑමට කටයුතු කරමිනි.

MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය පිළිබඳව අදහස් දක්වමින් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා පැවසුවේ “ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට ලැබීම ඕනෑම ක්‍රීඩකයකුගේ සිහිනයක්. ඔලිම්පික් ඉලක්ක කරගනිමින් අනාගත තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීම ඉතා වැදගත් යැයි අප සිතනවා. මෙවර කණ්ඩායම දෙස බලන විට මෙම සිහිනය සැබෑ කර ගත හැකි බව අපට ඔවුන්ට පෙන්වා දිය හැකියි. ඒවගේම අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියේදී ඔවුන්ගේ ජයග්‍රහණ කරා රැගෙන යාමට MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය උපකාර වනු ඇතැයි අප තුළ දැඩි විශ්වාසක් තිබෙනවා.” යනුවෙනි.

Views: 0