CEAT බ්‍රසීල වෙළඳපොළ වෙත පිවිසෙමින් සිය ගෝලීය අපනයන පියසටහන පුළුල් කරයි

ලෝකයට ස්වභාවික රබර් ලබා දුන් රට වන බ්‍රසීලය, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වන සියැට් ටයර් වල නවතම අපනයන වෙළඳපොළ බවට පත් වී ඇතැයි පවසයි.

රටවල් 16 ක් ආවරණය කරන සමාගමේ අපනයන පියසටහනට එක් වූ දකුණු ඇමෙරිකාවේ දෙවන රට වන බ්‍රසීලය වෙත, සියැට් කැළණි හෝල්ඩිංග්ස් පසුගිය දා සිය ප්‍රථම අපනයන ටයර් තොගය යවන ලදී.

බ්‍රසීලය වෙත අපනයනය කිරීම ආරම්භ වූයේ, සියැට් කැළණි විසින් බ්‍රසීලයේ ජාතික ප්‍රමිතිකරණ ආයතනය වන කාර්මික තත්ත්ව, ප්‍රමිතිකරණ හා ජාතික මිනුම් විද්‍යා ආයතනයෙන් නිකුත් කරන INMETRO සහතිකය ලබා ගැනීමෙන් පසුව ය. 

තවද, මෝටර් රථ තත්ව කළමණාකරණ පද්ධති සඳහා වන ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල වීම වෙනුවෙන් පිරිනමන ජාත්‍යන්තර මෝටර් රථ කාර්ය සාධක බලකාය (IATF) විසින් IATF 16949:2016 සහතිකය ලබා දුන්, දේශීය ව නිෂ්පාදනය කරන ලද එකම ටයර් සන්නාමය සියැට් වේ.

මීට අමතරව, සියැට් කැළණි අපනයනය කළ ටයර් සඳහා යුරෝපීය ආර්ථික කලාපයේ (EEA) අලෙවි කරන සියළුම මෝටර් රථ උපාංගවලට සපුරාලීම අනිවාර්ය වූ, යුරෝපීය ආර්ථික කොමිසම (ECE) මගින් ලබා දෙන e-Mark සහතිකය ද ලබා දී ඇති අතර, ඉන්දුනීසියාවේ ජාතික ප්‍රමිතිකරණ නියෝජිතායතනය (BSN) වෙතින් ප්‍රදානය කරන ඉන්දුනීසියානු ජාතික සම්මතය වන SNI ප්‍රමිතියට සහ ඉන්දියානු ප්‍රමිති කාර්යාංශය විසින් නිකුත් කරන ඉන්දීය ජාතික සම්මතය වන BIS ප්‍රමිතියට සියැට් ටයර් ද අනුකූල වේ.

“බ්‍රසීලය අපට ආකර්ෂණීය මෙන්ම වාණිජමය වශයෙන් වැදගත් වූ අපනයන වෙළඳපොළක්,”යැයි සියැට් කැළණි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ෂමල් ගුණවර්ධන මහතා පැවසීය. “නව වෙළඳපලකට පිවිසෙන සෑම විටම, එම වෙළඳපොලේ ගුණාත්මක ප්‍රමිති වලට අනුකූල වීම උදෙසා දැඩි තත්ව පරීක්ෂාවන්ට භාජනය වීමට අවස්ථාවක් සපයයි. එම අවස්ථාව මගින් නිෂ්පාදනය හා බැඳුනු ක්‍රියාවලි හෝ ද්‍රව්‍ය, හෝ ඒ දෙකම, වැඩිදියුණු කිරීමට අනුබලයක් ලැබෙන අතර එමගින් අපගේ දේශීය වෙළඳපල පාරිභෝගිකයින්ට ද ප්‍රතිලාභ සැලසෙනවා,”යැයි ඔහු සදහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, සියැට් ශ්‍රී ලංකා සමාගම සිය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා බ්‍රසීලයේ සිටින හොඳම නියෝජිතයින් තිදෙනා සමඟ හවුල්කරුවන් වී ඇති බවයි. සමාගම මුලින් මගී මෝටර් රථ රේඩියල් සහ කාර්මික හා ඉදිකිරීම් අංශයේ ටයර් අපනයනය කරන අතර පසුව අනෙක් කාණ්ඩ වන බස් ට්‍රක් රේඩියල්, සැහැල්ලු ට්‍රක් රේඩියල්, SUV වාහන සහ වෑන් රේඩියල් වලට යොමු වනු ඇත. 

සියැට් කැළණි සමාගම විසින් ඊජිප්තුව, කෙන්යාව හා පකිස්ථානය යන රටවල් වලට සියැට් සන්නාමය යටතේ ටයර් අපනයනය කරන අතර අනෙකුත් ප්‍රදේශ සඳහා ටයර් අපනයනය කරන්නේ ORION හා KELCEA යන සන්නාම යටතේ ය. එම ප්‍රදේශ අතරට පිලිපීනය, යේමනය, චිලී රාජ්‍යය, බොලිවියාව, මොරිෂස්, ජෝර්දානය, ඝානාව, සිරියාව, නයිජීරියාව, සීෂෙල්ස්, නේපාලය සහ ඇෆ්ගනිස්ථානය ද ඇතුළත් වේ.

ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරන සියැට් කැළණි හවුල් ව්‍යාපාරය පසුගිය දශකය තුළ පමණක් ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති  සමස්ත ආයෝජනය රුපියල් බිලියන 8.5 ඉක්මවයි. සියැට් කැළණි සමාගම සිය නිෂ්පාදනයෙන් සියයට 20ක් පමණ රටවල් 16කට අපනයනය කරන අතර ආනයනික ටයර්  මත යැපීම අඩුකරමින් විදේශ විනිමය සුරැකීමට ජාතික ආර්ථිකයට උපකාර කිරීමෙහිලා  සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.

Views: 0