යුනියන් ඇෂුවරන්ස් ගෙන එන නෙඔමි රාජරත්නම්ගේ ‘Epic Black’ නර්තන ප්‍රසංගය අගෝස්තු 09-10 සහ 11 දා

සුප්‍රකට නර්තන කලායතනයක් වන ‘With My Feet’ හි නිෂ්පාදනයක් වන, ප්‍රවීණ හා ජනප්‍රිය නර්තන නිර්මාණ ශිල්පිනී නයෝමි රාජරත්නම්ගේ ‘Epic Black’ නර්තන ප්‍රසංගය 2024 අගෝස්තු 9, 10 සහ 11 යන දිනවල කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරී තිබේ.

With My Feet කලායතනය සමග සම්බන්ධ වී සිටින විශිෂ්ට නර්තන ශිල්පීන් හා ශිල්පිනියන් විශාල පිරිසක් මෙම ප්‍රසංගයට දායක වෙති. එමෙන්ම මෙය දීර්ඝ කාලයක් පුරා With My Feet කලායතනයේ සාර්ථකත්වය වෙනුවෙන් කැපවුණු, මෙම වසරේ පෙබරවාරි 13 වන දින අභාවප්‍රාප්ත වූ ට්‍රෙවර් රාජරත්නම් මහතාට පිදෙන උපහාරයක්ද වේ.

ඒ මහතා ජීවත්ව සිටි කාලයේදී Mackinnons Travels හි ප්‍රධාන විධායක නිලධාරී, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති සහ ආධුනික නර්තන සංගමයේ සභාපති යන තනතුරුද දැරී ය. ඒ මහතා ලබාදුන් පිටුබලය තුළින් පන්නරය ලබමින් සහ ඒ මහතා විසින් ඉටුකරන ලද යාවජීව මෙහෙවරට උපහාරයක් වශයෙන් ‘With My Feet’ කලායතනය සහ එහි සාමාජික සාමාජිකාවන් විසින් මෙම නර්තන ප්‍රසංගය පවත්වනු ඇත.

Epic Black යනු Latin American, Ballroom, Contemporary සහ Fusion වැනි නර්තන සම්ප්‍රදායන් රැසකින් ආභාසය ලැබූ නිර්මාණයකි. එමෙන්ම ජාත්‍යන්තර තලයේදී විවිධ ඇගයීම්වලට ලක් වූ ශිල්පීන් හා ශිල්පිනියන් පිරිසක් එයට දායක වෙති.

මේ අතරට එක්සත් රාජධානියේ ජාතික ශූරතාව 5 වරක් හිමිකරගත් ගනර් ගනර්සන් සහ ‘Blackpool Open Smooth Champion’ කිරුළ හිමිකරගත් මනුජා හියුස් ප්‍රධාන තැනක් ගනී. ඊට අමතරව ‘Professional Ballroom European Champion’ සහ ‘Professional World Champion’ ලෙස කිරුළු පැළඳු රෝමන් සුකොම්ලින් සහ ජැකී ස්ටීවන්සන්ද මීට දායක වෙති. මේ විශිෂ්ටයන්ගේ අපූර්ව නර්තන රිද්මයන් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට සදානුස්මරණීය අත්දැකීමක් තිළිණ කරනු නො-අනුමාන ය.

Epic Black හි මූලික තේමාව වන්නේ ‘අඳුරේ සිට ආලෝකයට’ යන්නයි. එමගින් ජීවිතයේ ගමන් සහ පරිවර්තනයන් සංකේතවත් වේ. මෙම තේමාව Epic Black නිර්මාණයේ නිෂ්පාදනය, සංගීතය, රංග වස්ත්‍ර නිර්මාණය සහ වේදිකා ආලෝකකරණය ඇතුළු සියල්ලටම ආභාසය සපයා ඇත. නයෝමි රාජරත්නම්ටම ආවේණික වූ සුවිශේෂී නර්තන සම්ප්‍රදාය මෙම ප්‍රසංගයේ පදනම වනු ඇති අතර, එය සුපුරුදු පරිදිම ප්‍රේක්ෂක හදවත් රසාලිප්ත කරනු නිසැක ය.

නයෝමි රාජරත්නම් යනු නර්තනයට පමණක් සීමා වූ ශිල්පිනියක් නොවේ. ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්වල වෙසෙන, නර්තනයට සහජ දක්ෂතා ඇති තරුණ තරුණියන්ට දේශීය හා ජාත්‍යන්තර කරළිය ජයගැනීම සඳහා අත්වැලක් වීමට ඇය දීර්ඝ කාලයක පටන් කැප වී සිටී. එමෙන්ම ප්‍රජා සත්කාරයන් වෙනුවෙන්ද ඇය අතීතයේ පටන්ම සිය දායකත්වය ලබා දී තිබේ.

ඒ අනුව මීට පෙර ප්‍රසංගවලදී මෙන්ම Epic Black ප්‍රසංගයෙන් ලැබෙන ආදායමෙන්ද කොටසක් වැලිසර දෙව් සිරි සෙවණ වැඩිහිටි නිවාසය වෙත පරිත්‍යාග කෙරෙනු ඇත. මෙම වැඩිහිටි නිවාසය ජාති ආගම් භේදයකින් තොරව අසරණ වැඩිහිටියන් හට සෙවණ සලසයි.

ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීම හෝ වෙනත් තොරතුරු සඳහා www.withmyfeet.com වෙත පිවිසෙන්න. නැතිනම් 077 775 0786 අංකයෙන් කුෂාන් සෙනෙවිරත්න අමතන්න.

Views: 0