Huawei ICT 2023-2024 ගෝලීය අවසන් මහා තරඟයේ දෙවැනි ස්ථානය මොරටුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායමට

Huawei ICT 2023-2024 ගෝලීය අවසන් මහා තරඟයේ Cloud Track 1 පුහුණු තරඟයේ දෙවන ස්ථානය හිමිකරගනිමින් ඉතිහාසගත ජයක් වාර්තා කිරීමට මොරටුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායම සමත් වී ඇත. ශ්‍රී ලාංකික කණ්ඩායමක් ජාතික මට්ටමේ සිට කලාපීය මට්ටම දක්වාත්, අවසානයේ ගෝලීය මට්ටම දක්වාත් ඉදිරියට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ දක්ෂ සිසුන් තිදෙනෙකු වන සසික සංකලන, වාරකී වකීසන් සහ ක්‍රිෂිහාන් රවීන්ද්‍රන් මෙම කණ්ඩායමට ඇතුළත් වූ අතර සසික සංකලන කණ්ඩායම් නායක ලෙස කණ්ඩායම මෙහෙයවන ලදී.  චීනයේදී ඔවුන් විසින් දැක්වූ විස්මිත දස්කම් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයට  ඔසවා තැබීමට සමත් විය.

Huawei ICT 2023-2024 තරඟයේ සමාප්තිය සහ සම්මාන උළෙල Shenzhen හිදී පැවැත්වූ අතර මෙවර තරඟය සඳහා විවිධ කලාපවල රටවල් 80කට වැඩි ගණනක, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන2,000කට අධික ප්‍රමාණයක් නියෝජනය කරමින් 170,000කට අධික සිසුන් සංඛ්‍යාවක් සහභාගී වූහ. මේ අතරින් රටවල් 49 කින් තරඟකරුවන් 470 කට අධික පිරිසකගෙන් සමන්විත කණ්ඩායම් 160 කට වැඩි ප්‍රමාණයක් ගෝලීය අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබීමට වාසනාවන්ත වූහ.

Huawei ICT ගෝලීය තරඟයේදී මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් පෑ විශිෂ්ට දස්කම් සහ මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එන්.ඩී. ගුණවර්ධන මහතා මෙලෙස අදහස් දැක්වීය. මෙම ජයග්‍රහණය ඔවුන්ගේ සුවිශේෂී දක්ෂතා සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම පමණක් නොව නවෝත්පාදන සහ අධ්‍යයන විශිෂ්ටත්වය වර්ධනය කළ හැකි පරිසරයක් ඇති කිරීම සඳහා අපගේ විශ්වවිද්‍යාලයේ නොසැලෙන කැපවීම මනාව පිළබිඹු කරනවා. අපගේ සිසුන්ට ඔවුන්ගේ කුසලතා ගෝලීය වේදිකාවක් මත ප්‍රදර්ශනය කිරීමට ඉඩසලසමින් මෙම අගනා අවස්ථාව ශාස්ත්‍රීයව සහ කර්මාන්තයට සම්බන්ධ කිරීම වෙනුවෙන් අපි Huawei වෙත බෙහෙවින් කෘතඥ වෙනවා,” ඔහු සඳහන් කළේය.

සිසුන්ගේ මෙම විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව සුබ පැතුම් එක කරමින් Huawei Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී Zhang Jinze ප්‍රකාශ කළේ, “මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ මේ විශිෂ්ට දස්කම් ගැන මම ඉමහත් ආඩම්බරයට පත් වෙනවා. ඔවුන්ගේ සාර්ථකත්වය හුදෙක් පුද්ගලික සන්ධිස්ථානයක් නොව ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සඳහා වැදගත් ඉදිරි පියවරක්. කලාපීය සහ ගෝලීය වශයෙන් අභියෝගවලට මුහුණ දීමට නොබියව සිටින මෙම දක්ෂ හා ධෛර්ය සම්පන්න තරුණ මනසින් අපේ රටේ අනාගතය හැඩගැස්වෙනවා. Huawei ICT තරඟ වේදිකාව තුළින් ශ්‍රී ලාංකේය සිසුන් ඉතිහාසයට එක්වීම සහ මෙවන් ප්‍රගතියක් අත්කර ගැනීම දැකීමත් අපිට ඉමහත් සතුටක්. මෙය හුදෙක් ජයග්‍රහණයක් පමණක් නොව ශ්‍රී ලංකාවේ ඊළඟ පරම්පරාවේ හැකියාවන් පිලිබඳ කදිම සාක්ෂියක්.” යනුවෙනි.

ඉතා තියුණු තරඟයකින් පසුව, ඇල්ජීරියාව, චීනය, නයිජීරියාව, පකිස්ථානය, පෝලන්තය, පිලිපීනය, ටැන්සානියාව, තුර්කිය සහ උගන්ඩාව යන රටවල් 9යෙහි  කණ්ඩායම් 19 ක් Practice and Innovation තරඟවල විශිෂ්ට ත්‍යාග දිනා ගැනීමට සමත් වූ අතර Best Social Media Popularity Award දිනා ගැනීමට පාකිස්ථානයේ කණ්ඩායමක් සමත් විය.

තවද Green Development Award චීනයේ සහ මොරොක්කෝවේ කණ්ඩායම් දෙකක් විසින් දිනා ගන්නා ලද අතර Women in Tech Award කෙන්යාව, මැලේසියාව, මොරොක්කෝව සහ උගන්ඩාව යන කණ්ඩායම් 4ද  TECH4ALL Digital Inclusion Award චීනයේ සහ පිලිපීනයේ කණ්ඩායම් දෙකක් විසින්ද දිනා ගන්නා ලදී.

Views: 0