ලංකා IOC ලීටරයක් රුපියල් 793/-කට ඔක්ටේන් 100 පෙට්‍රල් හඳුන්වා දෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන ලංකා IOC සමාගම (LIOC.N0000) සිය ඉන්ධන අලෙවි සැල් හරහා මෙරට වෙත ඔක්ටේන් 100 පෙට්‍රල් හඳුන්වා දීමට ඊයේ කටයුතු කළේය.

මෙම ඉන්ධන මාදිලිය XP100 ලෙස නම් කර තිබේ. මෙලෙස ඔක්ටේන් 100 ඉන්ධන මෙරට වෙත හඳුන්වාදුන් පළමු අවස්ථාව මෙන්ම මේ දක්වා එම ඉන්ධන භාවිත කරන ලොව අටවැනි රට බවටත් ශ්‍රී ලංකාව පත්ව තිබේ.

හඳුන්වා දෙන මෙම ඔක්ටේන් 100 පෙට්‍රල් උසස් මට්ටමේ මෝටර් රථ (High-end Vehicles) සඳහා සුදුසු බව ලංකා IOC සමාගම පවසයි.

ඒ හරහා මෝටර රථ වෙතඉහළ කාර්යක්ෂමතාවක්, වඩාත් හොඳ එන්ජින් ක්‍රියාකාරීත්වයක්, වේගවත් ත්වරණයක් සහ රිය පැදවීමේදී සුමට බව වැඩි කිරීම සඳහා මෙම පෙට්‍රල් මාදිලිය විශෙෂයෙන් නිපදවා තිබෙන බවත් ලංකා IOC සමාගම සඳහන් කරයි.

ලංකා IOC සමාගම ඉන්දියානු රජයට අයත් ඉන්දියානු තෙල් සමාගමෙහි අනුබද්ධිත සමාගමකි. ඒ අනුව මෙම XP100 ඉන්ධන ඉන්දියාවෙන් ඍජුවම ආනයනය කෙරෙන බව සමාගම පවසයි.

මේ අතර ඊයේ හඳුන්වාදුන් මෙම ඔක්ටේන් 100 අඩංගු XP100 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 793ක් ලෙස සටහන්ව තිබේ. දැනටමත් ලංකා IOC සමාගම සිය ඉන්ධන අලෙවි සැල් හරහා මෙරට තුළ ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 පෙට්‍රල් අලෙවිය සිදු කරයි. එහිදී ඔක්ටේන් 92ක ලීටරයක් රුපියල් 344ක්ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 379ක්ද වෙයි.

Views: 0