බ්‍රවුන්ස් සමූහයේ Brown Fabric Limited හයිද්‍රාමනී සමූහය යටතට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බ්‍රවුන්ස් සහ සමාගම (Browns and Company PLC) හි පරිපාලිත සමාගමක් වූ බ්‍රවුන්ස් ෆැබ්රික් ලිමිටඩ් සමාගම (Browns Fabric Limited) සමාගම Ceylon Knit Trend (පෞද්) සමාගම වෙත අලෙවි කළ බව එම සමාගම ඊයේ සඳහන් කළේය.

මෙම බ්‍රවුන්ස් ෆැබ්රික් ලිමිටඩ් සමාගම බ්‍රවුන්ස් සහ සමාගමේ 100෴ක පූර්ණ හිමිකාරීත්වයක් පැවැති පරිපාලිත සමාගමක් විය.

පසුගිය ජූනි 20 වැනිදා අදාළ මිලදී ගැනීම සිදුව ඇති අතර, මෙම ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 50ක් (50,000,000ක්) බව සඳහන් වෙයි.

අද වනවිට බ්‍රවුන්ස් ෆැබ්ර්ක් ලිමිටඩ් සමාගම මගින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල සිය නිෂ්පාදන සහ සැකසුම් කර්මාන්තශාලාවක් පවත්වාගෙන යයි.

මෙම මිලදී ගැනීම සිදුකළ Ceylon Knit Trend (පෞද්) සමාගම මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන හයිද්‍රාමනී සමූහයෙහි (Hirdaramani) පරිපාලිත සමාගමකි. 1992 වසරේදී ස්ථාපිත කෙරුණු මෙම Ceylon Knit Trend (පෞද්) සමාගම සතුව ඇහැලියගොඩ පිහිටි කර්මාන්තශාලාවක් පවතී.

හයිද්‍රාමනි සමූහය අද වනවිට ඇගලුම් කර්මාන්ත ක්ෂේත්‍රයට අමතරව, හෝටල් කර්මාන්තය, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය මෙන්ම තොරතුරු තාක්ෂණය සහ සිල්ලර වෙළෙඳාම් යන ක්ෂේත්‍ර වෙතද සිය මෙහෙයුම් පුළුල් කර තිබේ.

බ්‍රවුන්ස් ෆැබ්රික් ලිමිටඩ් සමාගමද බ්‍රවුන්ස් සමූහයෙහි 82කට අධික පරිපාලිත සමාගම් අතරින් එක් පරිපාලිත සමාගමක් වෙයි. එසේම එය එම සමූහය මගින් පවත්වාගෙන ගිය එකම ඇගලුම සහ රෙදිපිළි සම්බන්ධ සමාගම බවද පැවසෙයි.

බ්‍රවුනස් සමූහයත් අද වනවිට ආයෝජන, කෘෂිකාර්මික, ඖෂධ, හෝටල් සහ නිෂ්පාදන ඇතුළු ක්ෂේත්‍ර රැසකම සිය ව්‍යාපාරික මෙහෙයුම් සිදු කරයි.

Views: 0