තවත් ලැයිස්තුගත සමාගමක් කොළඹ කොටස් හුවමාරුව හැරයාමට සැරසෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සෙරෙන්ඩිබ් ඉන්ජිනියරින්ග් ගෘප් පීඑල්සී සමාගම (IDL.N0000) එම ලැයිස්තුගතවීමෙන් ඉවත්වීමට සැලසුම් කර ඇතැයි පවසයි.

පසුගිය ජූනි 10 වැනිදා රැස් වුණු එම සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය සහ සමාගමෙහි ප්‍රදාන කොටස්හිමිකරුවන් සිදුකරන ලද ඉල්ලීමකට අනුව මෙලෙස එම සමාගම අදාළ ලැයිස්තුගතවීමෙන් ඉවත්විමට පියවර ගන්නා බව සඳහන් වෙයි.

මෙහිදී එම සමාගමෙහි වැඩිම කොටස් හිමිකාරීත්වය සහිත සෙරෙන්ඩිබ් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම මගින් අනෙකුත් කොටස් හිමිකරුවන් සතුව ඇති කොටස් මිලදී ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය පියවර යොදා ඇත.

ඒ අනුව නිකුත් කර ඇති එක් කොටසකට රුපියල් 2.00 බැගින් ගෙවා අදාළ කොටස් මිලදී ගැනීමට කටයුතු කරන බව සඳහන් වෙයි.

කෙසේ වෙතත් සෙරෙන්ඩිබ් ඉන්ජිනියරින්ග් ගෘප් පීඑල්සී සමාගම මෙලෙස කොළඹ කොටස් හුවමාරුවෙන් ඉවත්වීමේ යෝජනාව එම සමාගමෙහි කොටස් හිමිකරුවන්ගේ අනුමැතියට යටත්ව සිදුවිය යුත්තක් බවද සමාගම පවසයි. ඒ අනුව ඊට අදාළ අනුමැතිය ලබා ගැනීම සඳහා අතිවිශේෂ මහා සභා රැස්වීමක් පවත්වන බවත් සමාගම සඳහන් කරයි.

මේ අතර 2022 වසරේ දෙසැම්බර් 08 වැනිදා සිට සෙරෙන්ඩිබ් ඉන්ජිනියරින්ග් ගෘප් පීඑල්සී සමාගමෙහි කොටස් කොළඹ කොටස් හුවමාරුව තුළ ගනුදෙනු කිරිමත අතිහිටුවා තිබේ.

එසේම 2021 සැප්තැම්බර් 07 වැනිදා සිට එම සමාගමෙහි කොටස් කොළඹ කොටස් හුවමාරුවෙහි Watch List වෙත ඇතුළු කිරීමටද එම නියාමන බලධාරීන් පියවර ගෙන තිබේ. 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා වන විගණන වාර්තාව නිකුත් නොකිරීම ඊට හේතුව වී තිබේ.

Views: 0