යුනිලිවර් ශ්‍රී ලංකා හොරණ කර්මාන්ත ශාලාවේ මෙගාවොට් 2.33ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ස්ථාපිත කෙරේ

යුනිලිවර් ශ්‍රී ලංකා  සමාගම සහ Abans Electricals PLC අතර හවුල්කාරීත්වය යටතේ  මෙගාවොට් (MW) 2.33ක ධාරිතාවයකින් යුත් නව සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් පසුගියදා හොරණ කර්මාන්තශාලාවේදී පසුගියදා විවෘත කෙරිණි.

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමෙහි තිරසාරභාවය සහ පුනර්ජනනීය බලශක්ති භාවිතය සඳහා ඇති කැපවීමේ ඉදිරි පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර මේ සඳහා යූරෝ මිලියන 1.3ක්  ආයෝජනය කරයි.

මෙම ව්‍යාපෘතිය යුනිලිවර් සමාගමේ ගෝලීය දේශගුණය පිළිබඳ ක්‍රියාකාරී සැලැස්ම (CTAP) සමඟ සමපාත වන අතර ඒ අනුව 2030 වසර වනවිට මෙරට විදුලි සැපයුම පුනර්ජනනීය ප්‍රභවයන් වෙත සංක්‍රමණය කිරීම සඳහා වන විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අභිලාෂකාමී ඉලක්ක සඳහා දායකත්වය සපයනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අලි තාරීක් මහතා. “තිරසාර භාවිතයන් තුළින් අපගේ පරිසරය ආරක්ෂා කිරීම සඳහා තවත් ආයෝජනයක් වන මෙම සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව අපි බෙහෙවින් ආඩම්බරයට පත්වෙනවා. මෙය උසස් තත්ත්වයේ නිෂ්පාදනයන් හා වෙළෙඳ නාම නිර්මාණය කිරීම වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ගයක් පමණක් නොවේ. තිරසාර ජිවිතය පොදු අරමුණක් බවට පත්කිරීමේ අපගේ ගෝලීය දැක්ම සමඟ පෙළගැසෙමින් අප සිදුකරන සෑම කටයුත්තකදීම වගකීම් සහගත ආයතනික පුරවැසියන් ලෙස කටයුතු කරන බවට ද සහතික කරනු ලබනවා. මෙම ආයෝජනය මඟින් අපගේ හොරණ කර්මාන්තශාලාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් 30 -35%ක් නිෂ්පාදනය කරනු ඇත.”

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ හොරණ කර්මාන්තශාලා සූර්ය බලශක්ති ව්‍යාපෘතිය මඟින් වාර්ෂිකව මෙට්‍රික් ටොන් 2090කින් කාබන් විමෝචනය මැඩපැවැත්වීම මඟින් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ කාබන් පියසටහන අවම කිරීමට බලාපොරොත්තු වන අතර එය ගස් 48,00කට අධික ප්‍රමාණයක් සිටුවීම හා සමාන පාරිසරික ප්‍රතිලාභයක් ගෙන එනු ලබයි.

මෙහිදී අදහස් දක්වා ඇති විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා,  “හොරණ යුනිලීවර් කර්මාන්තශාලවේ සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ආරම්භ කිරීම පිළිබඳව මම යුනිලිවර් ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතුම් එකතු කරනවා. 2050 වසර වනවිට පුනර්ජනනීය බලශක්ති භාවිතය තුළින් කාබන් විමෝචනය 70%ක් දක්වා අවම කිරීමේ රජයේ ඉලක්කය සපුරාලීම සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ද මෙම ක්ෂේත්‍රයට ඉතා වැදගත් වෙනවා. 2.33.Mw ක ධාරිතාවකින් යුතු සූර්ය බලශක්ති පැනල ස්ථාපිත කිරීම හරහා අපගේ ඉලක්කය වෙනුවෙන් 1.5% දායකත්වයක් මෙම ව්‍යාපෘතිය හරහා සැපයීම ගැන මම සතුටට පත්වෙනවා.”  යනුවෙන් පවසා තිබේ.

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම විසින් සමස්ත ව්‍යාපාර සහ වටිනාකම් දාමය හරහා හරිතාගාර වායු (GHG) විමෝචනය අවම කිරීම සඳහා පුළුල් උපාය මාර්ගයක් ක්‍රියාත්මක කරන අතර එය දේශගුණය පිළිබඳ ක්‍රියාකාරී සැලැස්ම (CTAP) යටතේ සිදුකරනු ලබයි. මෙමඟින් 2024 දී යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම් ජාලයේ සම්පූර්ණ සූර්ය බලශක්ති උත්පාදනය මෙගාවොට් (MW) 4ක් දක්වා ඉහළ නැංවෙනු ඇත.දේශගුණික ක්‍රියාමාර්ගවල හදිසි අවශ්‍යතා හඳුනාගනිමින්, යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම 2039 වනවිට ශුද්ධ ශුන්‍ය විමෝචනය සාක්ෂාත් කරගැනීම අරමුණ කරගෙන තිබේ.

Views: 0