ලංකෙම් සමූහයෙන් රුපියල් බිලියන 2.5ක ආයෝජනයකින් පොහොර කර්මාන්තශාලාවක්

කොළඹ කොටස් හුවාමරුවෙහි ලැයිස්තුගත විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගම (LCEY.N0000) අනුරාධපුරය දිස්ත්‍රික්කයේ ඔයාමඩුව ප්‍රදේශය තුළ නව පොහොර කර්මාන්තශාලාවක් ඉදිකර ඇතැයි පවසයි.

මෙම කර්මාන්තශාලාව අයත් නව සමාගම ලංකෙම් මිනරල් ලිමිටඩ් ලෙස නම් කර ඇති අතර, එය ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමකි. 2023 ඔක්තෝබර් මාසයේදී මෙම සමාගම ස්ථාපිත කර තිබේ. මෙම වසර අවසන් වනවිට මෙම කර්මාන්තශාලාවේ වාණිජ මෙහෙයුම් ආරම්භ කිරිම අපේක්ෂාව වී තිබේ.

ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගම සඳහන් කරන ආකාරයට මෙම පොහොර කර්මාන්තශාලාව සඳහා වන ප්‍රාග්ධන ආයෝජනය සහ මූලික ප්‍රාග්ධන අවශ්‍යතාව රුපියල් බිලියන 2.5ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.

මෙම කර්මාන්තශාලාව බහුවාර්ෂික නොවන භෝග සඳහා වන කෘෂිකාර්මික පොහොර අවශ්‍යතාවන් වෙනුවෙන් වෙන් කිරීම සැලසුම බව සමාගම පවසයි.

මෙහිදී එම කර්මාන්තශාලාව මගින් නිපදවන පොහොර අලෙවිය සහ බෙදාහැරීම ලංකෙම් සිලෝන් පීඑල්සී සහ එහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන SunAgro LifeScience Limited සමාගම හරහා සිදු කිරීමත් සැලසුම වී තිබේ.

දැනටමත් ලංකෙම් සමූහය ලංකෙම් ඇග්‍රෝ නමින් බීජ, බදුන් මිශ්‍රන, පොහොර ඇතුළු නිෂ්පාදන රැසක් වෙළෙඳ පොළට නිකුත් කරයි.

Views: 0