රක්ෂණ සංස්ථාව සතු ලංකා හොස්පිටල්ස් කොටස් මහා භාණ්ඩාගාරයට පැවරෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී සමාගම (LHCL.N0000) තුළ ඇති ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතු කොටස් මහා භාණ්ඩාගාරය වෙත පැවරීමට කටයුතු යොදා ඇතැයි පවසයි.

සිය සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය මගින් ගත් තීරණයකට අනුව මෙම කොටස් පැවරීම සිදු කළ බව ලංකා හොස්පිටල්ස් සමාගම මගින් ඊයේ මේ බව කොළඹ කොටස් හුවමාරුව වෙත අනාවරණය කළේය.

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ යටතේ ඇති පොදු ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව මෙම කොටස් පැවරීම සිදු කළ බව සඳහන් වෙයි.

ඒ අනුව අදාළ කොටස් පැවරීම වෙනුවෙන් පහසුකම් සලසන ලෙස සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙතද ඉල්ලිමත් ඉදිරිපත් කර ඇතැයි එම සමාගම පවසයි.

රජය සතු ව්‍යවසායන්හි කොටස් පෞද්ගලිකකරණය කරමින් එම ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස මෙම කොටස් පැවරීම සිදු කර තිබේ.

2023 දෙසැම්බර් 31 වැනිදා වන විට ලංකා හොස්පිටල්ස් පීඑල්සී සමාගමෙහි කොටස් හිමිකාරීත්වයෙන් 28.66%ක් Fortis Healthcare International Pte Ltd සමාගම වෙත හිමිව තිබුණි. එසේම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව – ජීවිත අරමුදල වෙත කොටස් 26.27%ක්ද, ශ්‍රීලංකා රක්ෂණ සංස්ථාව – සාමාන්‍ය අරමුදල වෙත 25.07%ක්ද හිමිව තිබුණි.

මේ අතර ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී ලංකා හොස්පිටල්ස් කොටසක වටිනාකම රුපියල් 113.00ක් ලෙස සටහන් විය. එය පෙර දිනයේ කොටසක වටිනාකම වූ රුපියල් 112.00ට සාපේක්ෂව රුපියල් 1ක එනම් 0.89%ක ඉහළ යාමකි.

Views: 0