නීති විරෝධී ලෙස රන් ආනයනය කළ ආයතන පහකට රුපියල් මිලියන 1243ක දඩයක්

මේ වසරේ ගත වූ කාලය තුළ නීති විරෝධී ලෙස මෙරටට රන් ආනයන කළ බවට ආයතන පහක් හඳුනාගෙන ඇති බවත්, එම ආයතන වෙත රුපියල් මිලියන 1243ක දඩ මුදල් නියම කළ ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මෙහිදී අදාළ ආයතන අතරින් එක් ආයතනයකට රුපියල් මිලියන 179ක් ගෙවීමට නියම වූ බවද අමාත්‍යවරයා අනාවරණය කරයි.

එසේම මින් ඉදිරියට  රන්භාණ්ඩ ආනයන සිදුකරන බලපත්‍රලාභී සියලු ආයතන මෙම නීති විරෝධී ක්‍රියාවන් වෙතින් මිදිය යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා අදාළ ආයතන ඍජුව ආනයනය නොකර තුන් වැනි පාර්ශ්ව මගින් මිලදී ගන්නා රන් සඳහා ද නිෂ්පාදන වාර්තා සලකා බලා දඩ මුදල අය කරගන්නා බව කියා සිටියේ ය.

රාජ්‍ය ආදායම අහිමි වීමට අදාළ ව පැවැති සිදුරු ක්‍රමයෙන් පියවරෙන් පියවර වසා දමමින් මෙරට රාජ්‍ය ආදායම තහවුරු කිරීමේ කටයුතු මේ වනවිට කරගෙන යන බව සියඹලාපිටිය මහතා පවසයි.

රන් භාණ්ඩ ආනයනය කරන ඇතැම් පාර්ශව මෙය විශාල ජාවාරමක් බවට පත් කරගෙන ඇති බවත් ඒ නිසාම ඒ වටා ගොනු වූ මාෆියාවක් ද පවතින බවත්, ඒ සියලු අභියෝග හමුවේ නොසැලෙමින් මෙහි දෙවන පියවර වෙත ද රජය යොමු වූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර, නීති විරෝධී ලෙස රට තුළට රන්  ආනයනය කිරීම සම්බන්ධයෙන් පසුගිය වකවානුව තුළ අනාවරණය වූ සිදුවීම් සැලකිල්ලට ගෙන මෙරට රන් ජාවාරම වැළැක්වීමේ අරමුණින් ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පසුගිය වසරේ මාර්තු මාසයේදී අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.

Views: 0