එයිට්කන් ස්පෙන්ස් ප්ලාන්ටේෂන් මැනේජ්මන්ට් පීඑල්සී CSE ලැයිස්තුගතවීමෙන් ඉවත් වීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත එයිට්කන් ස්පෙන්ස් ප්ලාන්ටේෂන් මැනේජ්මන්ට් පීඑල්සී සමාගම (ASPM.N0000) එම ලැයිස්තුගතවීමෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි පවසයි.

අද දිනයේදී පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳව තීරණය ගෙන තිබේ. කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම මේ බව සඳහන් කර ඇත.

කෙසේ වෙතත් මෙම ලැයිස්තුගතවීමෙන් ඉවත්වීමේ තීරණය සඳහා එම සමාගමේ කොටස් හිමිකරුවන්ගේ සහ නියාමන ආයතනවල අනුමැතිය හිමිවිය යුතුව ඇතැයිද එයිට්කන් ස්පෙන්ස් ප්ලාන්ටේෂන් මැනේජ්මන්ට් පීඑල්සී සමාගම පවසයි.

මෙරට ක්‍රියාත්මක ප්‍රමුඛතම වැවිලි සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් ප්ලාන්ටේෂන් මැනේජ්මන්ට් පීඑල්සී සමාගම සුප්‍රසිද්ධ ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාට අයත් එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමාගමෙහි පරිපාලිත සමාගමකි.

සමාගම මගින් සඳහන් කරන ආකාරයට අදාළ ලැයිස්තුගතවීමෙන් ඉවත් වීමේ අවස්ථාවේදී, එයිට්කන් ස්පෙන්ස් ප්ලාන්ටේෂන් මැනේජ්මන්ට් පීඑල්සී සමාගමෙහි විශාලතම කොටස්හිමිකරුවන් තිදෙනා වන එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී, එම්.ජේ.එෆ්. හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම සහ ඩී.ඒ. ද එස් වික්‍රමනායක (ප්‍රධානතම කොටස්හිමිකරුවන්) යන අයවලුන් විසින් සමාගමේ අනෙකුත් සුළුතර කොටස්හිමිකරුවන්ගේ කොටස් මිලදී ගැනීමට තීරණය කර තිබේ.

ඒ අනුව තමන් සතු එයිට්කන් ස්පෙන්ස් ප්ලාන්ටේෂන් මැනේජ්මන්ට් පීඑල්සී සමාගමේ කොටස් අලෙවි කිරීමට කැමැත්ත දක්වන කොටස්හිමිකරුවන්ට එක් කොටසකට රුපියල් 240ක් බැගින් ගෙවා එම කොටස් මිලදී ගැනීමක් සිදු කරන බවත් සමාගම පවසයි.

2023 මාර්තු 31 වැනිදා වන විට එයිට්කන් ස්පෙන්ස් ප්ලාන්ටේෂන් මැනේජ්මන්ට් පීඑල්සී සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 8,295,860ක් එනම් 44.14%ක් හිමිව ඇත්තේ එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමාගමටයි. කොටස් 6,996,509ක් එනම් 37.23%ක් එම්.ජේ.එෆ් හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගමට අයත් වෙයි, කොටස් 3,498,254ක් ඩී.ඒ. ද සිල්වා වික්‍රමනායක වෙත අයත්ය. එය 18.61%ක ප්‍රතිශතයකි.

අනෙකුත් කොටස් හිමිකරුවන් වෙත හිමිව ඇත්තේ කොටස් 2,160ක් වන අතර එය 0.01%ක ප්‍රතිශතයකි.

මේ අතර අදාළ ලැයිස්තුගතවීමෙන් ඉවත්වීමේ තීරණය අනුමත කිරීම සඳහා වන ඡන්ද විමසීම සඳහා අතිවිශේෂ මහා සභා රැස්වීමක් පැවැත්වීමටද එයිට්කන් ස්පෙන්ස් ප්ලාන්ටේෂන් මැනේජ්මන්ට් පීඑල්සී සමාගම පියවර ගෙන ඇතැයි සඳහන් කරයි.

Views: 0