සියපත ෆිනෑන්ස් පීඑල්සී රුපියල් බිලියන 4 ක ණයකර නිකුතුවට අධි දායකත්වයක්

මෙරට ක්‍රියාත්මක බැංකු නොවන මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාගම අද දිනයේදී විවෘත කළ රුපියල් බිලියන 4ක් වටිනා ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමිව ඇතැයි පවසයි.

සියපත ෆිනෑන්ස් පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය යටතේ ලැයිස්තුගත (listed), ශ්‍රේණිගත (rated), ජේෂ්ඨ (senior), සුරැකුම් රහිත (unsecured), නිදහස් කළ හැකි (redeemable), වශයෙන් වර්ගීකරණය කොට පස් අවුරුදු කාලයකින් කල් පිරෙන ණයකර නිකුතුවක් ලෙස මෙම නිකුතුව සිදු කෙරිණි.

මෙම ණයකර නිකුතුවේ මූලික නිකුතුව ලෙස ණයකර කොටස් මිලියන 20ක් නිකුත් කෙරුණු අතර, එහිදී එක් ණයකර කොටසක් රුපියල් 100 බැගින් රුපියල් බිලියන 2 ක් විය.

ඒ සඳහා ලැබුණු අධි දායකත්වයත් සමගින්ම තවත් ණයකර කොටස් මිලියන 10ක් නිකුත් කිරීමට සියපත ෆිනෑන්ස් පීඑල්සී කටයුතු කර තිබේ. එයටද අධි දායකත්වයක් හිමිවීමත් සමගින්ම සැලසුම් කළ ආකාරයට රුපියල් බිලියන 4ක අරමුදල් රැස් කිරීමක් දක්වා වන ලෙස තවත් ණයකර කොටස් මිලියන 10ක් නිකුත් කිරිමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව අද පස්වරු 4.30 වන විට රුපියල් බිලියන 4ක් වටිනා ණයකර කොටස් මිලියන 40කට (40,000,000ක්) අධික සංඛ්‍යාවක් සඳහා ඉල්ලුම් පත්‍ර හිමි වුණු බව සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාගම පවසයි.

මෙම ණයකර නිතුතුව මගින් වසර 5 ක කල්පිරීමක් සහිතව, 13.20% වාර්ෂික ස්ථාවර පොලී අනුපාතිකයකින්, වාර්ෂික පොලී ගෙවීමක් මෙම නිකුතුව විසින් ආයෝජකයන්ට ලබා දෙන බවත් එම සමාගම සඳහන් කර තිබේ.

සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාගම සම්පත් බැංකුවෙහි පූර්ණ අනුබද්ධිත මූල්‍ය සමාගමකි.

Views: 0