ඩයලොග් ආසිආටා වෙතින් රුපියල් 1.34 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම (DIAL.N0000) සිය කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.34ක් බැගින් ලාභාංශ ගෙවන බව සමාගම සඳහන් කරයි.

මෙය 2023 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම ලෙස සටහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ජූලි 05 වැනිදා ප්‍රකාශ කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ජූනි 14 වැනිදා නම් කර තිබේ.

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම සඳහන් කරන ආකාරයට මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සඳහා සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවිය යුතුව තිබේ.

එම අනුමැතිය සඳහා පැවැත්වෙන මීළග වාර්ෂික මහා සභා රැස්වීම ජූනි 13 වැනිදා පැවැත්වෙන බවත් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම සඳහන් කරයි.

මීට පෙර පසුගිය පෙබරවාරි මාසයේදීද ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම ලාභාංශ ගෙවීමක් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබුණි. එහිදීද කොටසකට රුපියල් 1.34ක් ලබා දෙන බව සමාගම සඳහන් කළේය.

මේ අතර අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 11.00ක් ලෙස සටහන් විය. මෙය පෙර දිනයේ කොටසක වටිනාකම වූ රුපියල් 11.10ට සාපේක්ෂව ශත 10ක එනම් -0.90%ක පහත වැටීමකි.

Views: 0