එක්ස්පෝ ලංකා ලැයිස්තුගත වීමෙන් ඉවත්වීමට විරුද්ධ සුළුතර කොටස්හිමියන් 09ක් ලු

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම එම ලැයිස්තුගතවීමට ගෙන ඇති තීරණයට විරුද්ධව අධිකරණය හමුවට ගොස් ඇත්තේ එහි සුළුතර කොටස් හිමියන් 09 දෙනෙකු බව එම සමාගම අනාවරණය කරයි.

අද දිනයේදී එම සමාගම ලිපියක් මගින් කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුම් දී තිබේ. සමාගමේ කොටස් හිමිකරුවන් විසින් සිදු කරන ලද මෙම රීට් ආඥා පෙත්සම සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය මගින්ද අනාවරණය කෙරිණි.

එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සඳහන් කරන ආකාරයට මෙම සුළුතර කොටස් හිමිකරුවන් නව දෙනා එම සමාගමෙහි සමස්ත කොටස් ප්‍රමාණයෙන් 0.012%ක ප්‍රතිශතයක් හිමිකාරීත්වයක් සහිත පිරිසක් බව පැවසෙයි.

ඒ අනුව මෙම පිරිස මගින් අදාළ ලැයිස්තුගත කිරීමේ යෝජනාව අභියෝගයට ලක් කරමින් අධිකරණය ඉදිරියේ ඇපෑලක් ඉදිරිපත් කර ඇතැයි පවසන එම සමාගම, මෙහිදී කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පාර්ශ්වකරුවන් බවට නම් කර ඇතැයිද සඳහන් සඳහන් කර සිටියි.

මේ අතර අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් පසුගියදා ඩේලිඑෆ්ටී  පුවත්පතේ පළවූ වාර්තාවට අනුව මෙහිදී අදාළ පෙත්සම්කාර පාර්ශ්වය මගින් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුවට අමතරව තවත් පාර්ශ්ව 13කට එරෙහිව අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇතැයි සඳහන් වෙයි.

මෙහිදී ඔවුන් අදාළ ලැයිස්තුගත කිරීමට එරෙහිවූ කොටස්හිමිකරුවන්ගේ අභියාචනය පිළිබඳව අවධානය යොමු කිරීමට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව කටයුතු කර නොමැති බවත් ඔවුන් චෝදනා කරයි. ඒ අනුව එම කොමිසම කොටස් හිමිකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිට නැතැයිද ඔවුන් පවසයි.

මේ හේතුවෙන් අදාළ ලැයිස්තුගතවීමෙන් ඉවත්වීමේ අවස්ථාවේදී සිදුවූ නීතියට පටහැනි ක්‍රියා සම්බන්ධයෙන්, එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම අදාළ ඉවත්වීමට අදාළ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා සංවිධානය කළ අතිවිශේෂ මහා සභා රැස්වීමේදී උල්ලංඝණය කළ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ රීතින් පිළිබඳව මෙන්ම එම සමාගමේ දිගුකාලීන කොටස්හිමිකරුවන් වෙත අසාධාරනයක් සිදු කරමින් කොටසකට රුපියල් 185ක් බැගින් ලබාදීම සම්බන්ධවත් විමර්ශනයක් සිදු කරන ලෙසත් මෙම පෙත්සම්කරුවන් දන්වා තිබේ.

එසේම මෙම විමර්ශනයන්හි අවසන් තීරණයක් ලැබෙන තුරු එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි කොටස් කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු කිරීම අත්හිටුවීමෙන් ඉවත් කරන ලෙසද ඔවුන් ඉල්ලා තිබේ.

Views: 0