අත්තනෝමතික වතු කම්කරු වැටුප් වැඩි කිරීම ගැන වැවිලි කරුවන්ගේ සංගමයේ දැඩි විරෝධය

තේ සහ රබර් අංශයන්හි වතු කම්කරුවන් වෙනුවෙන් වන අවම වැටුප මින් පෙර නොවූ අයුරින් 70%කින් ඉහළ දැමීම සඳහා රජය විසින් ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් වැවිලි කරුවන්ගේ සංගමය සිය විරෝධය පළ කර සිටියි. මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් සඳහන් කර සිටියේ රජය ගනු ලැබූ මෙම තීරණය අත්තනෝමතික, අදූරදර්ශී හා ඒකපාර්ශවික තීරණයක් බවයි.

නව වැටුප් වැඩිවීම හේතුවෙන් වැවිලි අංශයට ඇති කරන අයහපත් බලපෑමට එරෙහිව සියලු පාර්ශවකරුවන් විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන ලදී. එහිදී ඔවුන් සඳහන් කර සිටියේ මෙම තීරණය වැවිලි අංශය දුර්වල තත්වයට ඇද දමමින් අවසානයේ දී රට තුළ දැඩි ආර්ථික අස්ථාවර බවක් ඇති කිරීමට හේතු වනු ඇති බවයි.

මෙහිදී අදහස් දැක්වූ ලංකා වැවිලි කරුවන්ගේ සංගමය “රජය විසින් කර්මාන්තයේ නියුතුව සිටින සියලු පාර්ශවකරුවන්ගේ අවශ්‍යතා පිළිබඳව කිසිඳු සැලකිල්ලක් හෝ තැකීමක් නොකරමින් මෙම තීරණයට එළඹ තිබෙනවා. කිසිඳු ප්‍රතිලාභයක් නොලැබෙන එම තීරණය මඟින් මෙරට තේ සහ රබර් කර්මාන්තයේ සෑම අංශයක්ම තව දුරටත් දුර්වල කිරීමට හේතු වන බව අපගේ විශ්වාසයයි. එවැනි අසාධාරණ වැටුප් වැඩි කිරීමක් සිදු කරන ලෙස කුඩා තේ සහ රබර් වතු හිමියන්ට හා කලාපීය වැවිලි සමාගම්වලට බල කිරීමේ උත්සාහය කර්මාන්තයේ මූලික මෙහෙයුම් අවශ්‍යතා කප්පාදු කිරීම තුළින් හෝ සාර්ථක කර ගැනීමට නොහැකියි. මුළු මහත් වතුකරයේම අනාගතය මේ වන විට අවදානමට ලක්ව තිබෙන අතරම ශ්‍රී ලංකාව පුරා කර්මාන්තයේ නියැලී සිටින කම්කරුවන්ගේ සහ ප්‍රජාවන්ගේ ජීවනෝපායද තර්ජනයට ලක්ව තිබෙන බව මේ මොහොතේ සඳහන් කිරීමට කැමතියි” යනුවෙන් පවසා සිටින ලදී.

රජය විසින් ගනු ලැබූ මෙම තීරණයේ ප්‍රතිඵලයක් ලෙස තේ සහ රබර් සඳහා වන නිෂ්පාදන වියදම ඉතා ඉහළ යනු ඇති අතර ඒ අනුව දැනට ඇස්තමේන්තු කර ඇති තේ කිලෝ ග්‍රෑමයක් සඳහා වන වියදම අවම වශයෙන් 45%කින් පමණ ඉහළ යනු ඇත. මේ හේතුවෙන් තේ සහ රබර් කර්මාන්තයට ගෝලීය වෙළෙඳපොලෙහි තරඟකාරීත්වයක් ලබා දීමට නොහැකි වන අතර එම ක්ෂේත්‍රයන්හි මූල්‍යයම පීඩාව තව දුරටත් ඉහළ නංවනු ඇත.

තවද, මෙම වැටුප් වැඩිවීම කලාපීය වැවිලි සමාගම්වලට අනවශ්‍ය බරක් වනු ඇත්තේ වාර්ෂික EPF/ETF හා පාරිතෝෂිත ඇතුළත් ගෙවීම් රුපියල් බිලියන 35ක් දක්වා දැඩි ලෙස ඉහළ යන හෙයිනි. එම සමාගම්වලට මෙම පීඩනය දරා ගත නොහැකි වීම හේතුවෙන් වතු කම්කරුවන් දහස් ගණනකගේ ජීවනෝපායටද එය තර්ජනයක් වනු නිසැක බවත් එම සංගමය පෙන්වා දෙයි..

අපි ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් ඉල්ලා සිටින්නේ අදූරදර්ශී තීරණවලට වඩා දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වයට ප්‍රමුඛත්වය දෙන සහ ඵලදායිතාව හා බැඳුණු වැටුප් ආකෘතියක් සඳහා කර්මාන්තයේ යෝජනා සලකා බලන ලෙසයි” ලංකා වැවිලි කරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියේ එලෙසිනි.

Views: 0