සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම සෙලින්කෝ හෝල්ඩිංග්ස් පීඑල්සී වෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත රක්ෂණ සමාගමක් වන සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම (CINS.N0000) සිය නම සෙලින්කෝ හෝල්ඩිංග්ස් පීඑල්සී (Ceylinco Holdings PLC) ලෙස වෙනස් කිරීමකට ලක් කර ඇතැයි පවසයි.

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම මේ පිළිබඳව අනාවරණය කර තිබේ.

2024 මැයි 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නම් වෙනස් කිරීම සිදු කර ඇති බවත්, ඊට අදාළව සමාගම් රෙජිස්ට්‍රාර්වරයා විසින් අදාළ සහතිකයද නිකුත් කර ඇති බවත් සමාගම පවසයි.

සෙලිනකෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම යටතේ අදවනවිට සාමාන්‍ය (සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස්) සහ ජීවිත (සෙලින්කෝ ලයිෆ් ඉන්ෂුවරන්ස්) ලෙස රක්ෂණ ව්‍යාපාර මෙහෙයුම් සිදු කරයි.

මීට අමතරව සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී සමූහය යටතේ අධ්‍යාපන සහ විදුලි සහ බලශක්ති ව්‍යාපාර මෙහෙයුම්ද ක්‍රියාත්මක වෙයි. ඒ අතරින් අධ්‍යාපන අංශය CEG Education Holdings (පෞද්) සමාගම නමින් සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමෙහි පරිපාලිත සමාගමක් ලෙස මෙහෙයුම් සිදු කරයි.

එසේම විදුලි සහ බලශක්ති යටතේ සෙලින්කො ඉන්ෂුවරන්ස් පීඑල්සී සමූහය ජලවිදුලි බලාගාර සහ සූර්ය බලශක්ති ව්‍යාපෘති සිදු කරයි. අද වන විට මෙම ව්‍යාපෘති හරහා එම සමූහ සමාගම් මගින් උත්පාදනය කරන විදුලි ධාරිතාව මෙගාවොට 18ක් බවත් සඳහන් වෙයි.

මේ අතර 2023 දෙසැම්බර් 31 වැනිදා වන විට සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමෙහි කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 4,450,135ක් එනම් 22.25%ක් හිමිව ඇත්තේ ග්ලෝබල් රබර් ඉන්ඩස්ට්‍රීස් (පෞද්) සමාගමටයි. එසේම කොටස් 3,000,000ක් එනම් 15.00%ක් මිට්සුයි සුමිටොමෝ ඉන්ෂුවරන්ස් සමාගම වෙත හිමිව ඇත. කොටස් 2,145,079 ක් එනම් 10.73%ක් හිමිව ඇත්තේ Banque Pictet and Cie SA S/A Patrick Schegg නම් සමාගමටයි.

Views: 0