CSE සහ USAID එක්ව දකුණේදී ව්‍යවසායක සංසදයක් පවත්වයි

කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) යන ආයතන එක්ව ශ්‍රී ලංකාවේ දකුණු කලාපයේ කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තවලට (SMEs) CSE හරහා ප්‍රාග්ධනය රැස් කර ගැනීමේ අවස්ථා පිළිබඳ අවබෝධයක් ලබා දීම සඳහා සංසදයක් සංවිධානය කරන ලදී.

“ඔබේ ව්‍යාපාරයේ ඉදිරි ගමනට නව ප්‍රවේශයක්” යන මැයෙන් වැලිගම බේ මැරියට් රිසෝට් ඇන්ඩ් ස්පා පරිශ්‍රයේදී පසුගියදා පැවති ව්‍යවසායක සංසදයේදී, සවිබල ගැන්වීම් පුවරුව (Empower Board) සහ දිරි සවි පුවරුව ඔස්සේ ලැයිස්තුගත කිරීම හරහා ඵලදායී ප්‍රාග්ධන රැස්කිරීමේ මාර්ග ගවේෂණය කිරීම සඳහා මගපෙන්වීම සපයන ලදී.

මෙම පුවරු විශේෂයෙන්ම කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත සඳහාම වෙන්වූ ලැයිස්තුගත කිරීම් අවස්ථා සපයන අතර එමඟින් කෘෂි ව්‍යාපාර, පශු සම්පත්, බලශක්ති උත්පාදනය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, සහ සංචාරක ව්‍යාපාර වැනි අංශ කෙරෙහි අවධානය යොමු කරයි.

කර්මාන්ත විශේෂඥයින්, ආයෝජන උපදේශකයින්, CSE නියෝජිතයින් සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) කැටලයිස් CATALYZE ශ්‍රී ලංකා පුද්ගලික අංශ සංවර්ධන ව්‍යාපෘතියේ (PSD) නියෝජිතයින් විසින් මණ්ඩල සාකච්ඡා සහ ක්‍රියාකාරී සැසි මෙහෙයවන ලදී.

“කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත සඳහා USAID සංවිධානයේ ඉලක්කය වන්නේ සැමට ප්‍රතිලාභ ලබා දෙන ආර්ථික සංවර්ධනය සඳහා මඟ පාදමින්, වර්ධනය, නවෝත්පාදන සහ තිරසාරභාවය සඳහා වන අවස්ථා විවර කිරීමයි, පවතින ප්‍රාග්ධන සම්පත් පිළිබඳව කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දැනුවත් කිරීම සඳහා මෙවැනි සංසද වැදගත් වේ.”යනුවෙන් USAID ආර්ථික වර්ධනය පිළිබඳ කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩෙනිස් වෙස්නර් මහතා පැවසීය.

පිරිස අමතමින් CSE ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා මෙලෙස අදහස් දැක්වීය. “කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමක් සිදු කිරීමට ගනු ලබන තීරණය ඕනෑම සමාගමක දිවි ගමනේ වැදගත් සන්ධිස්ථානයක් වේ. පොදු සමාගම් තත්ත්වයකට පත්වීම යනු ප්‍රාග්ධනය රැස් කිරීම හෝ ද්‍රවශීලතාව වැඩිදියුණු කිරීම පමණක් නොවේ. විවිධ අවස්ථා සඳහා මංපෙත් විවර කර ගැනීම, නවෝත්පාදනයන් වැඩි දියුණු කරගැනීම සහ කොටස් හිමියන්, සේවකයින් සහ සමස්ත සමාජය සඳහා වටිනාකම් උත්පාදනය කිරීම ද ඊට අයත් වේ. එය ඉදිරිදර්ශනවල මූලික වෙනසක් සමඟින් ආරම්භ වන පරිවර්තනීය මාවතක් වනු ඇත.”

මෙහිදී “ලයිස්තුගත්විම උදෙසා ගමනාරම්භය සහ ඉන් පසුවිපරම” යන මැයෙන් මණ්ඩල සාකච්ඡාවක් පැවැති අතර එය මෙහෙයවන ලද්දේ PSD අධ්‍යක්ෂ – මූල්‍ය පහසුකම් ජූඩ් ප්‍රනාන්දු, ඒෂීයා සියාකා කොමොඩිටීස් ලිමිටඩ් සමාගමේ විධායක අධ්‍යක්ෂ චාමර දිසානායක, CSE ප්‍රධාන විධායක නිලධාරි රජීව බණ්ඩාරනායක, කැපිටල් එලායන්ස් ලිමිටඩ් සමාගමේ සහකාර උප සභාපති – පර්යේෂණ නිරෝෂන් ද සිල්වා සහ CSE ජ්‍යෙෂ්ඨ උපසභාපති – වාණිජ පුන්‍යමලී සපරමාදු යන මහත්ම මහත්මීන් විසිනි.

Views: 0