රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණයන් වෙත සහාය දෙන ලෙස ලංකා වාණිජ මණ්ඩලය දේශපාලන පක්ෂවලින් ඉල්ලයි

ළගාකරගත් ආර්ථික ස්ථාවරත්වය පදනම් කරගෙන, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණවල (SOE reforms) අඛණ්ඩ පැවැත්ම සදහා සහාය දෙන ලෙස ලංකා වාණිජ මණ්ඩලය සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටී.

රට යළි අර්බුදයකට ගොදුරු නොවිම  සහතික කිරීම සඳහා රාජ්‍ය ව්‍යවසාය, බලශක්ති සහ මූල්‍ය කළමනාකරණය සම්බන්ධ ප්‍රතිසංස්කරණවලට ප්‍රමුඛත්වය දී ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව වාණිජ මණ්ඩලය අවධාරණය කරයි.

සියලුම දේශපාලන පක්ෂ ශ්‍රී ලංකාවේ දිගුකාලීන තිරසාරභාවය කෙරෙහි අවධානය යොමු කිරීම සහ කෙටි කාලීන මැතිවරණ ජයග්‍රහණ සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඩපණ කිරීමෙන්  වැළකී සිටීම ඉතා වැදගත් වේ.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ වඩා හොඳ කාර්ය සාධනය, ඵලදායිතාව සහ වගවීම තුළින් රජයේ මූල්‍ය දැක්ම වැඩිදියුණු කරනු ඇත. අතීතයේ සිටම රාජ්‍ය ව්‍යවසායන්හි අකාර්යක්ෂමතාව සහ වගවීමේ දුර්වලතාවයන්, රජය මත සැලකිය යුතු මූල්‍ය බරක් ඇති කිරීමට හේතු වී ඇති අතර, ආර්ථික අර්බුදවලට සහ සම්පත් වැරදි ලෙස බෙදා හැරීමට දායක වේ.

දූෂණය සහ අකාර්යක්ෂමතාව වැලැක්වීම සඳහා රාජ්‍ය ව්‍යවසායන් තුළ වෙළෙඳපොළ පදනම් වූ මිලකරණය සහ වගවීම වැඩි දියුණු කිරීමේ වැදගත්කම වාණිජ මණ්ඩලය අවධාරණය කරයි. ඵලදායි ප්‍රතිසංස්කරණ මගින් මෙම ව්‍යවසායන්හි තිරසාර බව සහ දිගු කාලීනව තරඟකාරී බව සහතික කරනු ඇති අතර, අනාගත ආර්ථික කැලඹිලි ඇතිවීමේ අවදානම අවම කරනු ඇත.

මෙම අත්‍යවශ්‍ය කටයුතු සඳහා සාධනීය ලෙස සහාය දෙන ලෙස ලංකා වාණිජ මණ්ඩලය සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටී. මෙම ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වය සඳහා පැහැදිලි සන්නිවේදනය සහ මහජන අවබෝධය ඉතා වැදගත් වේ. ශ්‍රී ලංකාවට සමෘද්ධිමත් අනාගතයක් සපත කරමින් ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය වැඩි දියුණු කරන ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටීමට ලංකා වාණිජ මණ්ඩලය සැම විටම කැපවී සිටී.

Views: 0