කොළඹ කොටස් හුවමාරුව 1990 සුව සැරිය ගිලන්රථ දෙකක අනුග්‍රාහකත්වය ලබා ගනී

හදිසි සෞඛ්‍ය සේවා සඳහා වන ප්‍රවේශය ඉහළ නැංවීම තහවුරු කරමින්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතියට සහාය දැක්වීමේ අරමුණින් යුතුව, කොළඹ කොටස් හුවමාරුව විසින් 1990 සුව සැරිය පදනම වෙනුවෙන් ගිලන්රථ දෙකක අනුග්‍රාහකත්වය ලබා ගන්නා ලද බව පවසයි.

ඒ 1990 සුවසැරිය පදනමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරීත්වය විසින් ආරම්භ කරන ලද ‘සුව සැරියට අපෙන් සවියක්’ වැඩසටහනට සහයෝගය දැක්වීමක් වශයෙනි.

2024 මැයි මස 12 වන දින ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි කොළඹ කොටස් හුවමාරුවේ (CSE) ප්‍රධාන කාර්යාලයේ සිට ගිලන් රථ 2ක් සේවය සඳහා යොදවන ලදී . CSE ශාඛා මාතර, මහනුවර, කුරුණෑගල, පානදුර, මීගමුව, යාපනය, අනුරාධපුර, රත්නපුර, මඩකලපුව සහ අම්බලන්තොට යන ප්‍රදේශවල පිහිටා ඇත.

2016 දී ආරම්භ කරන ලද සුවසැරිය ගිලන්රථ සේවය, රට පුරා ගිලන්රථ 322ක් සේවයේ යොදවමින් ක්‍රියාත්මක වන දිවයින පුරාවට හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර නොමිලේ සපයන ජාතික ගිලන්රථ සේවාවකි. අනතුරක් සිදුවී මුල්පැය තුළ හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ලබා දීම මඟින් ජීවිත ආරක්ෂා වන අතර, ඇති විය හැකි සෞඛ්‍ය සංකූලතා අවම කෙරේ.

1990 සුවසැරිය අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති දුමින්ද්‍ර රත්නායක මහතා ගිලන්රථ සේවයේ යෙදවීම පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, “අපට අවශ්‍ය මොහොතක මෙම කාර්යයට දායක වීමට CSE ඉදිරිපත් විය. ඔවුන්ගේ සහයෝගය ඇතිව අප විසින් ගිලන්රථ දෙකක් නැවත නවීන ලෙස අලුත්වැඩියා කොට පානදුර සහ මහනුවර ප්‍රදේශ සඳහා සේවයේ යොදවන ලදී. 1990 සුව සැරිය ගිලන්රථ සේවය සඳහා දක්වන සහයෝගය සහ කැපවීම සම්බන්ධයෙන් අපි CSE වෙත ස්තූතිවන්ත වෙමු.” යනුවෙනි.

CSE ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා, “1990 සුවසැරිය පදනම විසින් ගන්නා ලද ප්‍රශංසනීය උත්සාහයට සහය දැක්වීම සඳහා අපගේ කාර්යභාරය ඉටු කිරීමට අපට ලැබෙන අවස්ථාවක් ලෙස අපි මෙය දකින්නෙමු” යනුවෙන් සිය අදහස් දැක්වුවේය.

“කොටස් හුවමාරුවක් ලෙස, අප ජීවත් වන ප්‍රජාවට සහාය වීමට සහ එය ආරක්ෂා කිරීමට අප ඇපකැපවී සිටින අතර, අවසානයේ සමස්තයක් ලෙස රටේ ආර්ථික යහපැවැත්ම තිරසාර අන්දමින් පවත්වා ගැනීම සඳහා එකී ක්‍රියාපිළිවෙත පිටුවහලක් වනු ඇත”, යනුවෙන් ඔහු තවදුරටත් අදහස් දැක්වුවේය.

Views: 0