2024 දී ශ්‍රී ලංකාවේ වඩාත් ජනාදරය දිනාගත් බැංකු සන්නාමය බවට කොමර්ෂල් බැංකුව පත්වෙයි

2024 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත් ජනාදරය දිනාගත් බැංකු සන්නාමය ලෙසත් සමස්ත සේවා අංශයේ ජනාදරය දිනාගත් සන්නාමය අතරින් දෙවන ස්ථානය ලබාගත් සන්නාමය ලෙසත් කොමර්ෂල් බැංකුව නම් වී ඇත.

මෙම ගෞරව නාමයන් පිරිනැමුණේ මෙරට ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික සඟරාවක් වන LMD හි පර්යේෂණ සහකරු වන PepperCube විසින් සිදුකළ මාර්ගගත සමීක්ෂණයක ප්‍රතිඵල පදනම් කරමිනි. 

බස්නාහිර, දකුණ, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල LMD පාඨකයින් මෙම සමීක්ෂණයට සහභාගී වූ අතර වඩාත් ම ආදරය දිනාගත් සන්නාමයන් කාණ්ඩ 34ක් යටතේ ශ්‍රේණිගත කර ඇත.

මෙම වටිනා මහජන සහතිකය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා මෙසේ පැවසීය: “ජනප්‍රිය ජනමතය මත පදනම් වූ මෙවැනි ගෞරව නාමයක් නිහතමානීව හා කෘතඥතාවයෙන් යුතුව පිළිගත යුතුවේ. අපි කරන සෑම දෙයකම අභිප්‍රාය වන්නේ පාරිභෝගික අපේක්ෂාවන් ඉක්මවමින් සියලුම පාර්ශව කණ්ඩායම් වෙත අපගේ වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමයි. මෙම ශ්‍රේණිගත කිරීම කොමර්ෂල් බැංකුවේ සෑම සේවකයෙකුම දිරිගැන්වීම උදෙසා මහඟු මූලාශ්‍රයක් වන අතර අපගේ ගමන් මග නිවැරදි වන බවට ලබා දෙන සහතිකයක් ද වේ.”

මෙම වසර මුලදී ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) – Kantar ජනතා සම්මාන උළෙලේ දී ‘වසරේ ජනතාවගේ පුද්ගලික බැංකුව’ලෙස ද කොමර්ෂල් බැංකුව තේරී පත් වූ අතර එක්සත් රාජධානියේ ග්ලෝබල් ෆයිනෑන්ස් වෙතින් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව සහ ශ්‍රී ලංකාවේ හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බැංකුව ඇතුළු තවත් ජාත්‍යන්තර හා දේශීය සම්මාන කිහිපයක් ද දිනා ගන්නා ලදී.

Views: 0