සියපත ෆිනෑන්ස් පීඑල්සී වෙතින් රුපියල් බිලියන 4ක් වටිනා ණයකර නිකුතුවක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 4ක වටිනාකමකින් යුත් ණයකර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි.

පසුගියදා කොළඹ කොටස් හුවමාරුව මගින් මේ සඳහා වන මූලික අනුමැති ලබාදී තිබේ. ඒ අනුව ලැයිස්තුගත, වර්ගකෙරූ, ජ්‍යෙෂ්ට, සුරක්ෂිත නොවූ, පිරිමුදවාගත හැකි ණයකර නිකුතුවක් ලෙස ලබන මැයි 28 වැනිදා මෙම නිකුතුව සිදු කිරීම සැලසුම වී තිබේ.

මෙහිදී මූලික නිකුතුව ලෙස ණයකර කොටස් මිලියන 20ක් (20,000,000ක්) නිකුත් කෙරේ. එහිදී වසර පහකින් කල් පිරෙන ලෙස නිකුත් කෙරෙන මෙම ණයකර කොටස් සඳහා 13.20% ක වාර්ෂික ස්ථාවර පොලියක් හිමි වෙයි.

එසේම මෙම නිකුතුව සඳහා හිමිවන අධි දායකත්වයත් සමගින්ම තවත් ණයකර කොටස් මිලියන 10ක් (10,000,000ක්) නිකුත් කරන බව සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාගම පවසයි.

මීට අමතරව එම ණයකර කොටස් සඳහාද හිමි වන අධි දායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් 10,000,000ක්  නිකුත් කිරීමට සැලසුම් කෙරී තිබේ.

ඒ අනුව මෙහිදී නිකුත් කෙරෙන සමස්ත ණයකර කොටස් ප්‍රමාණය මිලියන 40ක් (40,000,000ක්) ලෙස සටහන්ව තිබේ. මෙහිදී එක් ණයකර කොටසක් රුපියල් 100ක් බැගින් මිල කෙරී ඇති අතර, සමස්ත නිකුතුව හරහා රැස් කරගැනීමට සැලසුම් කර ඇති උපරිම වටිනාකම රුපියල් බිලියන 4ක් (4,000,000,000ක්) බව සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාගම පවසයි.

මෙම ණයකර නිකුතුවේ කළමනාකරුවන් ලෙස First Capital Limited සමාගම කටයුතු කරයි.

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුවෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි 100%ක කොටස් හිමිකාරීත්වය ඇත්තේ සම්පත් බැංකුව වෙතයි.

Views: 0