ලංකාවේ PickMe – JumJum නමින් නේපාලයට යයි

ශ්‍රී ලංකාවේ ඇප් වැඩසටහන් පාදක කුලී රථ සේවා සම්පාදන සමාගමක් වන PickMe සමාගම නේපාලය තුළ සිය මෙහෙයුම් ආරම්භ කළ බව පවසයි.

ඒ අනුව JumJum (Let’s Go) නමින් ක්‍රියාත්මක යතුරු පැදි කුලී රථ සේවාවක් නේපාලයේ කත්මන්ඩු නුවරදී පසුගිය මැයි 13 වැනිදා දියත් කෙරිණි.

නේපාලයේ ක්‍රියාත්මක ෆින්ටෙක් සමාගමක් වන F1Soft හා අත්වැල් බැඳගනිමින් PickMe සමාගම මෙලෙස නේපාලය තුළ මෙහෙයුම් ආරම්භ කෙරී තිබේ.

අද වනවිට නේපාලයේ ලියාපදිංචි රථ වාහන අතරින් වැඩිම සංඛ්‍යාවක් ලෙස පවතින්නේ යතුරුපැදියි. එය සමස්ත රථ වාහන සංඛ්‍යාව වන මිලියන 3.22න් 78%ක් පමණ ප්‍රතිශතයක් ගනී.

ඒ අනුව මේ අතරින් යතුරුපැදි මිලියන 2.5ක් එනම් 40%ක ප්‍රතිශතයක් යොදා ගනිමින් මෙම JumJum යතුරුපැදි කුලී රථ සේවාව පවත්වාගෙන යාම සැලසුම වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති PickMe හි ප්‍රධාන විධායක නිලධාරී සුල්ෆර් ජිෆ්රි මහතා, “මෙම උපායමාර්ගික හවුල්කාරීත්වය යටතේ දකුණු ආසියාවේ තවත් රටක් වෙත අපගේ සේවාව රැගෙන යාමට හැකියාව ලැබී තිබෙනවා.” යනුවෙන් පවසයි.

F1Soft සමූහයේ සභාපතිවරයා වන බිස්වාස් ධකාල් අදහස් දක්වමින්, “නේපාලය වෙත JumJum සේවාවේ ආගමනය මගින් ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ තාක්ෂණිකමය සමාගම් දෙකක එකතුවීම පෙන්නුම් කරනවා. “ යනුවෙන් පවසයි.

2014 වසරේදී ආරම්භ කෙරුණු PickMe සමාගම වෙත 2018 වසරේදී එක්සත් ජනපදයේ පිහිටි ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) මගින් ඩොලර් මිලියන 2.5ක ආයෝජනයක් හිමි විය. වර්තමානයේදී PickMe හි සභාපතිවරයා වන්නේ අජිත් ගුණවර්ධන මහතාය.

Views: 0