ජනශක්ති ලයිෆ් රුපියල් බිලියන 5.2ක බදු පෙර ලාභයක් හා 186%ක වර්ධනයක් වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන ජනශක්ති ලයිෆ් සමාගම 2023 මූල්‍ය වර්ෂයේ විශිෂ්ට වර්ධනයක් වාර්තා කර ඇත.  එනම්, 2022 වර්ෂය හා සසඳන කල, ජනශක්ති ලයිෆ් ඉතිහාසයේ මෙතෙක් ලද ඉහළම ජයග්‍රහණය ලෙසට, බදු පසු ලාභයෙහි 201%ක වර්ධනයක් ද, රුපියල් බිලියන 5.2ක බදු පෙර ලාභයක් ද අත්පත් කරගෙන ඇත.  සමාගම සතු මනා මූල්‍යකරණ ක්‍රමවේද හා වෙළඳපොළ අභියෝගයන්ට ක්‍රමෝපායිකව මුහුණ දීමේ හැකියාව ද මෙම ජයග්‍රහණයට හේතු විය.    
මෙවන් වර්ධනයක් පෙන්නුම් කිරීමේ දී වැදගත් වන මූල්‍ය කළමනාකරණය දර්ශකයන් බොහෝ ඇත.  272%ක් වූ සමාගමෙහි ප්‍රාග්ධන ප්‍රමාණවත් බව පිළිබඳ අනුපාතිකය, 3.9 ක් වූ ද්‍රවශීලතා අනුපාතිකය, 27%ක් වූ කොටස් මත ප්‍රතිලාභය, රුපියල් 18.25ක් වූ කොටසක ඉපැයුම සහ රුපියල් බිලියන 3.4ක් වූ හානි සඳහා හිමිකම් පියවීම ආදී ඉහළ අගයයන් සහිත එකී දර්ශකයන්, සමාගමේ ස්ථාවරත්වයට මෙන්ම පාර්ශ්වකරුවන්ට ඉහළ ප්‍රතිලාභ ගෙනදීමට ද අවස්ථාව සලසා ඇත.          

“මෙම මූල්‍ය වර්ෂය සාර්ථක වන්නට මූලික වූ කරුණු බොහොමයක් තිබෙනවා.  ප්‍රධාන වශයෙන්, වෙළඳපොළ අවදානම් පාලනය කිරීමෙහි ලා කාලෝචිත පියවර ගන්නට අප සමත් වුණා.  ඒවගේම, පොලී අනුපාතික වල අඩු-වැඩිවීම් ගැන ද අප ඉතා කල්පනාකාරී වුණා.  ප්‍රතිලාභ චක්‍ර සංචලනයන්ගේ (yield curve movements) හැසිරීම් නිවැරදිව අනුමාන කිරීමට අපට හැකි වීමත් මෙම සාර්ථකත්වයට එක හා සමානව බලපෑවා.  බදු පෙර ලාභය රුපියල් බිලියන 5.2 දක්වා ඉහළ නංවා, ඓතිහාසික ජයක් අත්පත් කරගැනීමට අපට හැකි වුණේ ඒ අයුරින් කටයුතු කළ නිසායි.” යනුවෙන් අදහස් පළ කළේ ජනශක්ති ලයිෆ් හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, රවී ලියනගේ මහතා ය.

“වෙළඳපොළ අභියෝග මධ්‍යයේ වුවත්, බුද්ධිමත් ලෙස ආයෝජන වෙත අවධානය යොමු කිරීම සහ කාලෝචිත පියවර තුළින් අවදානම් අවම කිරීම මගින් අපගේ අඛණ්ඩ සාර්ථකත්වය තවදුරටත් තහවුරු වුණා.  ඒ අනුව, අපගේ ව්‍යාපාරික කටයුතු පිළිබඳ කාර්යසාධනයේ මූලික දර්ශකයන් ද ඉහළ නැංවුණා.” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.      

ජනශක්ති ලයිෆ් හි නියෝජ්‍ය සභාපති, ප්‍රකාශ් ෂාෆ්ටර් මහතා කියා සිටියේ, “2023 වැඩිම සාර්ථකත්වයක් පෙන්නුම් කළ මුල්‍ය වර්ෂය නිසා, එය අපට සුවිශේෂී වර්ෂයක් බව කිව යුතුයි.  එහිදී, රුපියල් බිලියන 4.1ක් වූ බදු පසු ලාභය මගින් 201%ක විශිෂ්ට වර්ධනයක් පෙන්නුම් කිරීමේ හැකියාව අපට ලැබුණා.  ඒ හරහා, ආයෝජන ප්‍රතිලාභ තවදුරටත් ශක්තිමත් කරන්නට ද අපට හැකි වුණා.  ආයෝජන සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරී තීරණ ගත් නිසා, අපට ඉහළ ප්‍රතිලාභ ලබන්නට ද හැකි වුණා.” යනුවෙනි.  

“එළඹෙන වර්ෂයේත් ඉදිරි වර්ෂ වලත් අපේක්ෂිත ආර්ථික ස්ථාවරත්වය සම්බන්ධයෙන් අප දැනටමත් සූදානම්.  2023 අප අත්පත් කරගත් ශක්තිමත් පසුබිම ජනශක්ති ඉන්ෂුවරන්ස් හි ඉදිරි කටයුතු වල දී විශාල සහයක් වේවි.  අප බලාපොරොත්තු වන්නේ වෙළඳපොළ තුළ හොඳින් ස්ථානගතව, අපගේ මූලික අරමුණු අනුව යමින්, පාරිභෝගිකයන්ට තව තවත් ප්‍රතිලාභ ලැබෙන සැලසුම් පිරිනැමීමටයි.  ඒ වගේම, අප සැමවිටම ඇප-කැප වී සිටින්නේ අපගේ වටිනා පාරිභෝගිකයන් වෙත ඉහළ ප්‍රතිලාභ සහ උසස් සේවාවක් ලබාදීමටයි.  අපගේ නිරන්තර ඉලක්කය, රක්ෂණාවරණ පිළිබඳ සියලුදෙනාගේම පළමු තේරීම ජනශක්ති ඉන්ෂුවරන්ස් බව සහතික කරමින්, විශ්වසනීයත්වය සහ වටිනාකම් සහිත සබඳතාවක් පවත්වාගෙන යාමයි.” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය. 

Views: 0