ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම විද්‍යුත් පාපැදි ඉසව්ව ‘Lumala Eco Ride 2024‘ මැයි 21 වැනිදා ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම විද්‍යුත් පාපැදි ඉසව්ව ලෙස ප්‍රකට Lumala Eco Ride 2.0 මැයි 21 සිට මැයි 27 දක්වා මධ්‍යම කඳුකරයේ පැවැත්වීමට නියමිත ය. ප්ලාස්ටික් කළමනාකරණය කරමුු, පරිසරය සුරකිමු යන තේමාව යටතේ මෙවර Eco Ride වැඩසටහන පැවැත්වීම ද විශේෂත්වයකි.

තිරසරභාවය සහ විද්‍යුත් ගමනාගමන ක්‍රමවේද භාවිතයේ වැදගත්කම පිළිබඳ සමාජය දැනුවත් කිරීම අරමුණු කරගත්, Eco Ride වැඩසටහනට දිවයිනේ නන් දෙසින් ශ්‍රී ලාංකිකයින් සහභාගී වීමට නියමිත ය.

ඊට, බිම් මට්ටමේ පරිසර සංවිධාන, විශ්ව විද්‍යාල සිසුන්, ප්‍රජා සංවිධාන, පළාත් පාලන ආයතන, අමාත්‍යංශ, පාපැදි කණ්ඩායම්, පාපැදි ධාවකයින්, සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් මෙන්ම සංචාරකයින් ද ඇතුළත් වනු ඇත.

කිලෝ මීටර 500කට වැඩි විද්‍යුත් පාපැදි ධාවන ඉසව්ව සඳහා Lumala මගින් නිෂ්පාදනය කෙරෙන විද්‍යුත් පාපැදි මාදිලි රැසක සහභාගීත්වය ද මෙහිදී දැකගත හැකිවනු ඇත. පානදුර නගරයෙන් ආරම්භ වන Eco Ride, පැල්මඩුල්ල හරහා හපුතලේ වෙතත් අනතුරුව දර්ශනීය හෝර්ටන්තැන්න හරහා නුවරඑළියටත් ගමන් කිරීමට නියමිත ය. ඉන් අනතුරුව නුවරඑළියේ සිට, මහනුවර, කෑගල්ල හරහා නැවත කොළඹ බලා ගමන් කරනු ඇත.

තෝරාගත් ස්ථාන කිහිපයකදී ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්රැස් කිරීම සහ නගරාශ්‍රිත විශේෂ ඉදිරිපත් කිරීම් සිදුකිරීම මෙම වැඩසටහනේ විශේෂාංග ලෙස සැළකිය හැක.

සතියක් පුරා දිවෙන මෙම වැඩසටහන අතරතුරදී තිරසර අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේද පිළිබඳ සමාජය දැනුවත් කරන අතර, විශේෂයෙන්ම වරක් පමණක් භාවිත කළ හැකි පොලිතින් සහ ප්ලාස්ටික් කළමනාකරණය එහිදී අවධාරණය කෙරේ. තව ද, පරිසර ආරක්ෂණ වැඩසටහන් පිළිබඳ හෝර්ටන්තැන්න ආශ්‍රිතව අනු වැඩසටහනක් ද සංවිධානය කර තිබේ. මීට අමතරව, තිරසර ගමනාගමන ක්‍රමවේද භාවිතයේ අවශ්‍යතාව පෙන්වා දීමත්, රූදෙස් (පරිසර හිතකාමී) සංචාරණය ප්‍රවර්ධනය කිරීමත් මෙම වැඩසටහනේ වෙනත් අරමුණු වේ.

ඉකුත් වසරේ මාර්තු මාසයේදී පැවැති Eco Ride වැඩසටහන ද අති සාර්ථක ලෙස සංවිධානය කර තිබුණු අතර, පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා කිලෝමීටර 800කට අධික ප්‍රමාණයක් එවර ආවරණය කෙරුණි.

Eco Ride යනු Lumala පාපැදි නිෂ්පාදනය කරනු ලබන City Cycle Industries Manufacturing පුද්ගලික සමාගමේ මුලපිරීමකි. City Cycle Industries Manufacturing සමාගම මෙරට සුහුරු ගමනාගමන පහසුකම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකුවන අතර, සංචාරක අමාත්‍යංශය ඇතුළු විවිධ ආයතන සහ සංවිධාන රැසක් සමඟ සහයෝගීතාවයෙන් Eco Ride සංවිධානය කරයි.

Views: 0