ලිට්රෝ ගෑස් මාබිම පිහිටි සිය නව ගබඩා පහසුකම් සහ සිලින්ඩර පිරවුම් පරිශ්‍රය විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ජාතික LP ගෑස් සැපයුම්කරු වන ලිට්රෝ ගෑස්, සපුගස්කන්දේ මාබිම නවීනතම ගබඩා සහ ගෑස් පිරවීමේ පහසුකම නවීකරණය කොට විවෘත කිරීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සහ ජනාධිපති ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලැබීය.

කලාපයේ විශාලතම ගෑස් පර්යන්ත වලින් එකක් ලෙස පිළිගැනෙන, මාබිම පිහිටි මෙම පරිශ්‍රය, අඛණ්ඩ බලශක්ති සැපයුම සහ සිය සේවා සහ මෙහයුම් කටයුතුවල දියුණුව සඳහා ලිට්රෝ ගෑස්හි කැපවීම මනාව පෙන්නුම්කරයි.

1984 දී Colombo Gas & Water සමාගම පවතින කාලයේදී ආරම්භ කරන ලද මාබිම පිරවුම් පරිශ්‍රය ඉන් වසර 40 කට පසු ජාත්‍යන්තර මෙහෙයුම් සහ ආරක්ෂිත ප්‍රමිතීන්ට අනුකූලව කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර ඇත.

මාබිම පරිශ්‍ර පහසුකම ප්‍රතිසංස්කරණය කිරීම සහ නවීකරණය කිරීම සඳහා රු. බිලියනයකට අධික මුදලක් වැය වූ අතර, ඉදිරි වසර 10ක් 15ක කාලයකට ජාතික ගෑස් අවශ්‍යතාවය අඛණ්ඩව සහ කාර්යක්ෂමව සැපයීම සහතික කරනු ඇත. 2014 දී ආරම්භ කරන ලද කෙරවලපිටිය පිරවුම් පරිශ්‍රය මත රඳා පැවැත්ම අඩු කරමින් කෙරවලපිටිය පරිශ්‍රය තරමටම ඉතා වැදගත් කාර්යභාරයක් එමඟින් ඉටු කරනු ඇත.

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී මුදිත පීරිස් මහතා අදහස් දක්වමින් ”මෙම නවීකරණ කටයුත්ත මගින් ලිට්රෝ ගෑස් හට රට පුරාම විහිදී සිටින සිය පාරිභෝගිකයින්ට අඛණ්ඩව සහ කිසිදු බාධාවකින් තොරව ගෑස් බෙදා හැරීමේ ක්‍රියාවලිය කළමනාකරණය කිරීමට ඉඩ සලසයි. අළුත්වැඩියා කිරීමේ සහ වැඩිදියුණු කිරීමේ වියදම කිසිදු බාහිර පාර්ශ්වයක මූල්‍ය ආධාරයක් හෝ ණය මුදලකින් තොරව ආයතනයේ සංචිත මුදල්වලින් පමණක් සිදු කර තිබීම ඉතාම වැදගත් කරුණක්.” යනුවෙන් පවසා තිබේ.

ලිට්රෝ ගෑස් සමාගම 2022 ආර්ථික අර්බුද කාලසමයේදී ගෑස් හිඟය අවම කිරීම සහ ජාතික ආර්ථිකය ස්ථාවරත්වය තහවුරු කිරීමට දින 20ක් ඇතුළත ගෑස් සිලින්ඩර මිලියන 2.2ක් බෙදා හැරීම මඟින් ජාතික සුබසාධනය සඳහා සිය කැපවීම මැනවින් පෙන්නුම් කර ඇත.

විවිධ අධ්‍යාපනික වැඩසටහන් සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වමින් ආරක්ෂාව සඳහා සිය කැපවීම පෙන්නුම් කර ඇති ලිට්රෝ ගෑස් මාබිම පරිශ්‍රය නවීකරණය කිරීම මඟින් ඒ සඳහා ඔවුන් ප්‍රයෝගිකවම ක්‍රියාත්මක වන බව මොනවට පැහැදිලි කරයි.

මාබිම පරිශ්‍රය මඟින් කෙරවලපිටිය පරිශ්‍රය සමඟ එක්ව රට තුළ වැඩිවන LP ගෑස් ඉල්ලුම සපුරාලීම සඳහාත්, සැපයුම් සහ බෙදා හැරීම් ජාලය ශක්තිමත් කිරීම පිණිසත් රට තුල රැකියා උත්පාදනය සහ අපනයන ආදායම වැඩි කිරීම සඳහාත් කටයුතු සිදුවනු ඇත.

Views: 0