LOLC Finance PLC හි ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් රුපියල් බිලියන 262ක් අහිමි වෙලා

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත LOLC Finance PLC සමාගමෙහි ප්‍රකාශිත ප්‍රාග්ධනය (stated capitel) රුපියල් බිලියන 307ක (306,993,806,000) සිට රුපියල් බිලියන 44ක් (44,078,916,351) දක්වා බිලියන 263කට (262,914,889,649) ආසන්න වටිනාකමකින් අහිමි වී ඇතැයි එම සමාගම පවසයි.

අද (මැයි 11) දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් LOLC Finance PLC සමාගම මේ පිළිබඳව අනාවරණය කර තිබේ.

මෙලෙස ප්‍රකාශිත ප්‍රාග්ධනය අඩුවීම සඳහා මූලිකම හේතුව වූයේ LOLC Finance PLC සමාගම සහ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CLC) සහ LOLC Development Finance PLC (LODF) යන සමාගම් ඒකාබද්ධ කිරීම ලෙසටත් සමාගම පෙන්වා දෙයි.

මේ අතරින්  කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CLC) සමාගම 2022 මාර්තු 31 වැනිදාත්, LOLC Development Finance PLC (LODF) සමාගම 2023 ජනවාරි 31 වැනිදාත් LOLC Finance PLC සමාගම හා ඒකාබද්ධ කිරිම සිදු විය.

මෙම ඒකාබද්ධ කිරීමේදී CLC සමාගම සහ LODF සමාගම් හි කොටස් හිමිකරුවන් වෙත එම අවස්ථාවේදී වෙළෙඳ පොල මිල ගණන් මත පදනම්ව නව කොටස් නිකුත් කිරිමක් සිදු විය. ඒ අනුව මෙහිදී එම සමස්ත වටිනාකම රුපියල් 262,914,889,649ක් ලෙස ඒකාබද්ධ සංචිත (merger reserve)  ලෙස සටහන්ව තිබී ඇත.

එහිදී CLC හි කොටස්හිමිකරුවන් වෙත රුපියල් 198,818,948,000ක් වටිනා කොටස් සහ LODF හි කොටස් හිමිකරුවන් වෙත රුපියල් 95,412,358,000ක් වටිනා කොටස් නිකුත් කිරීමක් සිදුව තිබේ.

ඒ අනුව මෙහි ප්‍රතිඵලයක් ලෙස 2022 මාර්තු 31 වැනිදා රුපියල් 12,762,500,000ක් ලෙස පැවැති LOLC Finance PLC සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය 2023 දෙසැම්බර් 31 වැනිදා වනවිට රුපියල් 306,993,806,000ක් බවට පත්ව තිබේ.

කෙසේ වෙතත් ප්‍රකාශිත ප්‍රාග්ධනයේ මෙම ඉහළ යාමත් සමගින්ම මෙම ඒකාබද්ධවීම හරහා රැස්වුණු මුදල් ඍණාත්මක සංචිතයක් (negative reserve) ලෙස සැලකීමක් සිදුවන බව සමාගම පවසයි. ඒ අනුව 2007 අංක 07 දරන සමාගම් පනතට අනුව මෙය සමාගමෙහි ප්‍රාග්ධන තත්ත්වයේ දරුණු අහිමිවීමක් ලෙසද සැලකිය හැකි බවත් සමාගම සඳහන් කරයි.

මේ තත්ත්වයත් සමගින්ම පසුගිය මැයි 09 වැනිදා රැස් වුණු LOLC Finance PLC සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, මෙම රුපියල් 262,914,889,649ක මුදල අලාභයක් ලෙස සලකමින්, සමාගමෙහි ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් 44,078,916,351ක් ලෙස සටහන් කිරීමටතීරණය කර තිබේ.

මෙම තීරණය සමාගමෙහි කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය යටතේ සිදු කිරීමටත් මෙහිදී නිර්දේශ ඉදිරිපත් කර ඇතැයි සමාගම පවසයි.

මේ අතර මෙම සිදුවීමත් සමගින්ම සමාගමෙහි ප්‍රකාශිත ප්‍රාග්ධනයෙහි දරුණු අඩුවීමක් සිදුවුවද, මෙම අවස්ථෘවට පෙර සිටම සමාගමෙහි සමස්ත වටිනාකම රුපියල් බිලියන 116.5ක් ලෙස සටහන්ව තිබූ බවත්, එය දැනට ප්‍රකාශිත ප්‍රාග්ධනය වන බිලියන 44ට වඩා අධික බවත් සමාගම පෙන්වා දෙයි.

එසේම මෙම ප්‍රකාශිත ප්‍රාග්ධනය අඩුවීමේ අවස්ථාව සමාගමෙහි මුදල් හෝ වත්කම් හුවමාරුවක් සඳහා අවස්ථාවක් නොවන බවත්, මෙය සමාගමෙහි වටිනාකම් (Total Equity) වෙත බලපෑමක් එල්ල නොකරන බවත් LOLC Finance PLC සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

Views: 0