සුප්‍රසිද්ධ ස්වීඩන ආයෝජන කළමනාකරණ සමාගමක් WSO2 මිලදී ගැනීමට යයි

මෙරටදී ආරම්භ වී ජාත්‍යන්තරය දක්වා ගිය ප්‍රමුඛතම ඩිජිටල් තාක්ෂණ විසඳුම් නිෂ්පාදන සහ මෘදුකාංග වැඩසටහන් නිෂ්පාදන සමාගමක් වන WSO2 සමාගම මිලදී ගැනීම සඳහා EQT Private Capital Asia නම් පෞද්ගලික ආයෝජන කළමනාකරණ ආයතනයක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වෙයි.

WSO2 සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරියා මෙන්ම නිර්මාතෘවරයාද වන ආචාර්ය සන්ජිව වීරවරණ මහතා විසින් අද දිනයේදී මේ පිළිබඳව අනාවරණය කරන ලදි.

ඒ අනුව ඩිජිටල් අනුවර්තන තාක්ෂණයේ ප්‍රමුණතම සමාගමක් වන WSO2 සමාගම ලොව ප්‍රමුඛතම පෞද්ගලික ආයෝජන කළමනාකරණ ආයතනයක් වන EQT මගින් මිලදී ගැනීමට කටයුතු යොදා ඇතැයි ඔහු සඳහන් කර තිබේ.

“WSO2 හි මීළග ගමන සඳහා EQT සමගින් හවුල්කාරීත්වයක් ඇති කරගැනීම සම්බන්ධයෙන් අපි සතුටට පත්වෙනවා. EQT හි සහාය සහ විශේෂඥතාව මගින් අපට අපගේ නවෝත්පාදන න්‍යායපත්‍රය තවත් හොඳින් ස්ථානගත කිරීමටත් වේගවත් කිරීමටත් අවස්ථාවක් හිමිවේවි. එසේම අපේ ගෝලීය ව්‍යාප්තිය තවදුරටත් පුළුල් කිරීමටත්, ඩිජිටල් ආර්ථිකය තුළ ව්‍යවසායන් තවදුරටත් බලගැන්වීමටත් අපට අවස්ථාව ලැබේවි.” යනුවෙන් සන්ජිව වීරවරණ මහතා මෙහිදී පවසා සිටියි.

EQT ආයතනය සඳහන් කරන ආකාරයට ඔවුන්ගේ BPEA Fund VIII (EQT Private Capital Asia) සමාගම මගින් මෙලෙස WSO2 හි දැනට සිටින කොටස් හිමිකරුවන්ගෙන් එම කොටස් අත්පත් කරගැනීම සඳහා වන එකඟතාවට පත්ව තිබේ.  

එහිදී සමාගමේ කොටස් අතරින් 45%ත් -50%ත් අතර කොටසක් අත්පත් කරගනු ඇතැයි සඳහන් වෙයි. කෙසේ වෙතත් මෙම ගනුදෙනුව සිදුවන මුදල් වටිනාකම් පිළීබඳව මෙතෙක් අනාවරණය කෙරී නැත.

අද වනවිට WSO2 සමාගම ලොව පුරා රටවල් 90කට වැඩි සංඛ්‍යාවක ව්‍යසායන් දහස් ගණනක් වෙත අවශ්‍ය ඩිජිටල් මෙවලම් ඇතුළු තොරතුරු තාක්ෂණිකවිසඳුම් ලබාදීම සිදු කරයි. ඒ සඳහා ශ්‍රී ලංකාවට අමතරව, ඔස්ට්‍රේලියාව, බ්‍රසීලය, ජර්මනිය, ඉන්දියාව, එක්සත් අරාබි එමීරය, බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකාවේද පිහිටි කාර්යාල තුළ 700 කට අධික සේවකයන් පිරිසක් WSO2 වෙනුවෙන් සේවය කරයි.

WSO2 මිලදී ගන්නා EQT ආයතනයද ගෝලීයව ක්‍රියාත්මක වන ආයෝජන සංවිධානයක් වන අතර, එහි කළමනාකරණය යටතේ පවතින සමස්ත වත්කම් ප්‍රමාණය යූරෝ බිලියන 242ක් ලෙස ගණන් බලා තිබේ.

මෙලෙස EQT මගින් WSO2 අත්පත් කරගැනීම 2024 වසරේ දෙවැනි අර්ධයේදී අවසන් කිරිමටද සමාගම් දෙකම බලාපොරොත්තු වන බවත් සඳහන් වෙයි.

Views: 0