රෙනෝ සිල්වා Hayleys PLC හි තෙවැනි විශාලතම කොටස් හිමිකරුවා වෙයි

ABC මාධ්‍ය ජාලයේ හිමිකරුවා වන රේනෝ සිල්වා මහතා Hayleys  PLC සමාගමේ තුන් වන විශාලතම කොටස් හිමියා බවට පත්ව ඇතැයි වාර්තා වෙයි.

DailyFT පුවත්පත ඊයේ සිය පුවත් වාර්තාවක් මගින් මේ පිලිබඳව අනාවරණය කළේය. එහි සඳහන් ආකාරයට රේනෝ සිල්වා විසින් පසුගිය සතියේ සිකුරාදා හා මේ සතියේ අඟහරුවාදා අතර කාලයේදී Hayleys කොටස් මිලියන 7ක් මිලදී ගැනීමත් සමගින්ම මෙම ස්ථානයට පත්ව තිබේ.

එම ගනුදෙනු හේතුවෙන් රේනෝ සිල්වා සතුව ඇති Hayleys  PLC සමාගෙම් කොටස් ප්‍රමාණය මිලියන 13.5ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය Hayleys සමාගම නිකුත් කර ඇති සමස්ත කොටස්වලින් 1.8%කි.

2023 දෙසැම්බර් 31 වන දිනට අනුව Hayleys  PLC සමාගමේ ප්‍රධානතම කොටස් හිමිකරුවා වන ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ධම්මික පෙරේරාටහිමි කොටස් ප්‍රතිශතය 51.01%කි.

එසේම දෙවන විශාලතම කොටස් හිමියා වන්නේ 11.6%ක කොටස් හිමිකාරීත්වයක් සහිත D.S. ජයසුන්දර භාරයේ භාරකරුය.

මේ අතර මෙතෙක් කලක් Hayleys සමාගමේ මුළු කොටස් ප්‍රමාණයෙන් තෙවන විශාලතම කොටස් හිමියා ලෙස සිටියේ McLarens Holdings සමාගමයි. එම සමාගමට හිමි කොටස් ප්‍රමාණය සමස්ත කොටස් ප්‍රමාණයෙන් 1.76%කි.

ඒ අනුව මේ වන විට රේනෝ සිල්වා මහතා McLarens Holdings සමාගම අබිබවා ගොස් Hayleys සමාගමේ තුන් වන විශාලතම කොටස්කරුවා බවට පත්ව ඇත.

මේ අතර ධම්මික පෙරේරා මහතාගේ Vallibel One PLC හි බහුතර කොටස් හිමි සම්පත් බැංකුවේද දෙවන විශාලතම කොටස් හිමියා වන්නේ රෙනෝ සිල්වා මහතාය.

Views: 0