Cinnamon Life හි කැසිනෝ ක්‍රීඩා සඳහා JKH සහ ජාත්‍යන්තර Melco සමාගම අතර එකඟතාවක්

මෙරට ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් සමූහයට (JKH) අයත් හෝටල් ව්‍යාපෘතියක් වන සිනමන් ලයිෆ් ඉන්ටග්‍රේටඩ් රිසෝට් (Cinnamon Life Integrated Resort) හි කැසිනෝ ඇතුළු ක්‍රීඩා පවත්වාගෙන යාම සඳහා වන අවස්ථාව ප්‍රමුඛතම ජාත්‍යන්තර සූදු ක්‍රීඩා මෙහෙයුම් සමාගමක් වන Melco Resorts & Entertainment Limited (Melco) සමාගම වෙත පිරිනමන බව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

එම සමූහයේ සභාපති ගිහාන් කුරේ මහතා විසින් පසුගියදා කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් ඉදිරිපත් කරමින් මේ බව අනාවරණය කර තිබේ.

ඒ අනුව මෙම කටයුතු සඳහා Melco සමාගම Cinnamon Life Integrated Resort හි එක්සත් ජනපද ඩොලර් මිලියන 125ක ආයෝජනයක් සිදු කිරීම නියමිත බවත්, ඒ හරහා සූදු ක්‍රීඩා සඳහා සුදුසු ලෙස එම පරිශ්‍රය සකස් කරනු ඇති බවත් එහි සඳහන් වෙයි. ජෝන් කීල්ස් සමූහය ඩොලර් බිලියන 1ක ආයෝජනයක් යටතේ මෙම Cinnamon Life Integrated Resort හෝටල් ව්‍යාපෘතිය ඉදිකර තිබේ.

මෙම Melco සමාගම අද වනවිට කැසිනෝ සහ අනෙකුත් සූදු ක්‍රීඩා සහ විනෝදාස්වාදන මෙහෙයුම් සම්බන්ධයෙන් ලොව ප්‍රමුඛතම සමාගමකි. ඔවුන්ට අයත් ජාත්‍යන්තරයේ සුප්‍රසිද්ධ සියල්ල එකට එක් වූ විවේකස්තාන (Integrated Resorts) මැකාවු, පිලිපීනය සහ සයිප්‍රසයේ පිහිටා තිබේ. එහිදී එම ස්ථාන සියල්ලම Melco සමාගමේ පොදු සන්නාමය වන City of Dreams යටතේ පවත්වාගෙන යයි.

ඒ අනුව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ Melco අතර ඇති කරගත් මෙම හවුල්කාරීත්වයත් සමගින්ම මෙතෙක් කලක් Cinnamon Life Integrated Resort ලෙස හැඳින්වුණු ව්‍යාපෘතියේ සන්නාමය City of Dreams Sri Lanka ලෙස ප්‍රතිසන්නාමකරණයකට ලක් කරන බවත් එම සමූහයේ සභාපතිවරයා සඳහන් කරයි.

“මෙම City of Dreams Sri Lanka ව්‍යාපෘතිය දකුණු ආසියාව තුළ පිහිටුවන පළමු අංගසම්පූර්ණ සියල්ල එකට එක් වූ විවේකස්ථාන ව්‍යාපෘතිය බවට පත්වේවි. ඒ හරහා මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අනෙකුත් නගර හා සමානව කොළඹ නගරය තුළත් සංචාරක කර්මාන්තයේ වර්ධනය, විදේශ විනිමය ඉපැයීම මෙන්ම රැකියා අවස්ථා බිහිවීම සිදු වෙතැයි අපේක්ෂා කරනවා.” යනුවෙන් ගිහාන් කුරේ මහතා වැඩිදුරටත් පවසා තිබේ.

මෙහිදී Melco සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සහිතව මෙරට ස්ථාපිත කෙරුණූ පරිපාලිත සමාගමක් වෙත වසර 20ක කාලයක් සඳහා අදාළ කැසිනෝ ක්‍රීඩා පවත්වාගෙන යාම සඳහා වන බලපත්‍රය ශ්‍රී ලංකජ රජය මගින් ප්‍රදානය කර තිබෙන බවත්, මෙම City of Dreams Sri Lanka තුළ එලෙස එම මෙහෙයුම් සිදු කළ හැකි බවත් සඳහන් වෙයි. එහිදී 2025 වසර මැදදී මෙම කැසිනෝ මෙහෙයුම් ඇරඹීම සැලසුම වී ඇත.

හෝටල් කාමර  687 කින් සමන්විත මෙම Cinnamon Life හෝටල් ව්‍යාපෘතියේ ඉදිකිරීම් මේ වනවිට එහි අවසන් අදියරේ ක්‍රියාත්මක වෙමින් පවතින අතර, එය 2024 තෙවැනි කාර්තුවේදී පමණ මෙහෙයුම් ආරම්භ කිරීමටද ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහය බලාපොරොත්තු වෙයි.

එහිදී මෙම ගොඩනැගිල්ලේ ඉහළ මහල් පහක් පුරා පිහිටි කාමර 113ක් මූලික කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන මෙම Integrated Resort හි කළමනාකරණ කටයුතු Melco සමාගම මගින් සිදු කිරීමට සැලසුම් කර ඇති අතර, එම සමාගමට අයත් ඉහළ මට්ටමේ සුඛෝපභෝගී හෝටල් සන්නාමයක් වන Nuwa යටතේ එය පවත්වාගෙන යාම අපේක්ෂාව වී තිබේ. දැනටමත් මෙම සන්නාමය මැකාවු සහ පිලිපීනය තුළ ක්‍රියාත්මක වෙයි.

මෙම Cinnamon Life Integrated Resort ව්‍යාපෘතිය ජෝන් කීල්ස් සමූහයෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන Waterfront Properties (Pvt) Ltd. (WPL) සමාගම මගින් ක්‍රියාත්මක කරවූවකි. ඒ අනුව Melco සමාගම මෙම එකඟාව යටතේ WPL සමාගම වෙතින් වර්ග අඩි 180,000කට ආසන්න භූමියක් කැසිනෝ පවත්වාගෙන යාම සඳහා කල්බදු ක්‍රමයට මිලදී ගැනීමට ආයෝජනය කර තිබේ.

2004 වසරේදී පිහිටුවුණු මෙම Melco Resorts & Entertainment Limited සමාගම සතුව අද වනවිට මැකාවු, පිලිපීනය සහ සයිප්‍රසය තුළ හෝටල් සහ කැසිනෝ පවතී. එහිදී සුඛෝපභෝගී හෝටල් 13ක් ඔවුන් සතුව ඇති අතර, එහි ඇති කාමර සංඛ්‍යාව ආසන්න වශයෙන් 6,300ක් පමන වෙයි.

එම හෝටල් තුළ MICE පහසුකම්, ජාත්‍යන්තරව පිළිගත් සංදර්ශන සහ අවස්ථා පැවැත්වෙයි. එසේම ක්‍රීඩා සඳහා වෙන් වූ වර්ග අඩි මිලියන 1.2ක විශාලත්වයෙන් යුත් ප්‍රදේශයක්ද මෙම Melco Resorts & Entertainment Limited සතුය.

එක්සත් ජනපදයේ NASDAQ හි ලැයිස්තුගත මෙම Melco සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය මේ වසරේ අප්‍රේල් 29 වැනිදා වන විට  ඩොලර් බිලියන 2.9ක් ලෙස සටහන්ව තිබේ. එය කොවිඩ් වසංගතය ඇරඹීමට පෙර (2019 දෙසැම්බර් මාසයට පෙර) ආසන්න වශයෙන් ඩොලර් බිලියන 11.5ක් වූ බවත් සඳහන් වෙයි. (enbsl)

Views: 0