හැරීගේ DCSL PLC යූරෝ මිලියන 12කට Heineken Lanka මිලදී ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මධ්‍යසාර නිෂ්පාදන සමාගමක් වන Distilleries of Sri Lanka PLC (DCSL PLC) සමාගම මෙරට ක්‍රියාත්මක බහුජාතික බියර් සමාගමක් වන Heineken Lanka Limited සමාගමේ 99.4%ක ප්‍රතිශතයක් අත්පත් කරගත් බව පවසයි.

මෙහිදී එම සමාගම අයත් Heineken Asia Pacific Pte. Ltd සමාගම අතර ඇති කරගත් එකඟතාවකට අනුව යූරෝපා මිලියන 12ක මිලකට මෙම ගනුදෙනුව සිදුව තිබේ. පසුගිය වසරේ නොවැම්බර් 17 වැනිදා මේ පිළිබඳව පළමුවරට අනාවරණය කෙරිණි.

Distilleries of Sri Lanka PLC සමාගම මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන හැරී ජයවර්ධන මහතාට අයත් සමාගමකි. එම මහතා විසින් අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් මෙම ගනුදෙනුව පිළිබඳව දැනුම් දී තිබේ.

මේ අතර මෙම අත්පත් කරගැනීමත් සමගින්ම Heineken Lanka Limited නාමය DCSL Breweries Lanka Limited ලෙස වෙනස් කරනු ඇති බවත්, ඉන් සිය හිමිකාරිත්වය පෙන්නුම්කරනු ඇති බවත් හැරී ජයවර්ධන මහතා සිය ලිපියේ සඳහන් කර තිබේ.

“Heineken සමාගම මගින් ඇති කරගෙන ඇති වෙළෙඳනාම බලපත්‍ර එකඟතාව අනුව මින් ඉදිරියට අපගේ සමාගම මගින් ලොව සුප්‍රසිද්ධ ජාත්‍යන්තර බියර් සන්නාම වන Heineken, Tiger සහ Anchor වෙළෙඳනාමවල බියර් නිෂ්පාදනය කෙරෙනු ඇත. එසේම අපගේ බියර් සන්නාමය වන Bison බියර් යටතේ ඉදිරියටත් නිෂ්පාදන කටයුතු සිදු වේවි.”  ඔහු වැඩිදුරටත් පවසා සිටියි.

එසේම අද වනවිට ශ්‍රී ලංකාවේ මද්‍යසාර නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛතම සමාගමක් වන DCSL සමූහය වෙත මෙම අත්පත් කරගැනීමත් සමගින්ම සිය විවිධාංගීකරණය වූ නිෂෟපාදන කළඹ වෙත බියර් නිෂ්පාදන එකතු කරගැනීමේ හැකියාව ලැබී ඇති බවත් මෙහි වැඩිදුරටත් සඳහන් වෙයි.

Views: 0