මෙරට සමාගම් සඳහා කොළඹ කොටස් හුවමාරුව තුළ හරිත බැඳුම්කර ලැයිස්තුගත කිරීමේ අවස්ථාව අද සිට

කොළඹ කොටස් හුවමාරුව තුළ හරිත බැඳුම්කර (Green Bond) ලැයිස්තුගත කිරීමේ සහ ගනුදෙනු කිරීමේ අවස්ථාව මෙරට සමාගම් වෙත හිමි කර දෙන බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.

ඒ අනුව අද (අප්‍රේල් 25දා) දිනයේ සිට ක්‍රියාත්මක වන ලෙස මෙම අවස්ථාව හිමිවන අතර, ශ්‍රී ලංකාවේ කොටස් හුවමාරුව තුළ මෙලෙස හරිත බැඳුම්කර සඳහා මෙම අවස්ථාව හිමි වූ පළමු අවස්ථාව ලෙසින්ද සැලකෙයි.

කොළඹ කොටස් හුවමාරුව පවසන ආකාරයට මෙම හරිත බැඳුම්කර සංකල්පය යටතේ ආයෝජකයන්ට විශේෂයෙන්ම දේශගුණිකව හෝ වෙනත් පාරිසරික මට්ටමින් ප්‍රතිලාභ හිමිවන පරිසර හිතකාමී ව්‍යාපෘති වෙත සිය ආයෝජන සිදුකිරීමේ අවස්ථාව උදා වෙයි.

උදාහරණ ලෙස පුනර්ජනනීය බලශක්ති, බලශක්ති කාර්යක්ෂමතාව, තිරසාර කසළ කළමනාකරණය, තිරසාර භූමි පරිභෝජනය (වනාන්තර සහ කෘෂිකර්මාන්තය),ජෛවවිවිධත්වය, පිරිසිදු ප්‍රවාහන සහ පිරිසිදු ජලය එම ව්‍යාපෘති වෙයි.

විශේෂයෙන්ම ශ්‍රී ලාංකික සමාගම් සතුව ඇති හරිත ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප්‍රාග්ධන රැස් කරගැනීම සඳහා වන අවස්ථා කොළඹ කොටස් හුවමාරුව තුළින් ලබා දීමේ අරමුණින් මෙලෙස හරිත බැඳුම්කර සඳහා අවස්ථාව ලබා දුන් බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.

එසේම මෙම හරිත බැඳුම්කර හරහා රැස් කරගන්නා අරමුදල් වඩාත් විනිවිදභාවයෙන් සහ වගවීමකින් තොරව භාවිතා කිරීම සම්බන්ධයෙන් මෙන්ම, මෙම බැඳුම්කර හරහා රැස් කරගත් අරමුදල් හරහා ක්‍රියාත්මක හරිත ව්‍යාපෘති හරහා ඇති වන බලපෑම වාර්තා කිරීම ආරක්ෂා කිරීමත් මෙහිදීසිදුවන බව සඳහන් වෙයි.

“මෙම හරිත බැඳුම්කර සතුව මූලිකවම සාංගමික ණයකර සතු ලක්ෂණ සහිතයි. ඒ වගේම එම බැඳුම්කර කොළඹ කොටස් හුවමාරුවෙහි ණය වෙළෙඳ පොළ අංශය තුළ ලැයිස්තුගත කිරීමේ අවස්ථාව පවතිනවා.” යනුවෙන් ද කොළඹ කොටස් හුවමාරුව පවසයි.

ඒ අනුව සාංගමික ණයකර සහ මෙම හරිත බැඳුම්කර අතර වෙනස වන්නේ ඒ හරහා රැස් කරගන්නා මුදල් භාවිතා කරනා අවස්ථාව වෙනස්වීමයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටින කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා, “මේ වසරේ ජනවරි මාසය වනවිට ගෝලීයව, පරිසර හිතකාමී සහ තිරසාර ව්‍යාපෘති වෙනුවෙන් මෙම හරිත බැඳුම්කර හරහා ඩොලර් ට්‍රිලියන 2.5ක මුදලක් රැස් කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවටත් මෙම හරිත බැඳුම්කර වෙත විදේශීය ආයෝජකයන් ආකර්ෂණය කරගනිමින් සිය අරමුදල් තවදුරටත් වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකය වෙතත් ධනාත්මකව දායකත්වයක් සපයාවි. උදාහරණ ලෙස මේ හරහා නව ආයෝජන පදනමක් ආකර්ෂණය කරගැනීමට මින් අවස්ථාව හිමිවෙනවා. විශේෂයෙන්ම හරිත ව්‍යාපෘති ඉලක්ක කරගත් සුවිශේෂි විදේශීය අරමුදල් ඉන් ප්‍රධානයි.” යනුවෙන් පවසා තිබේ.

මේ අතර අද දිනයේ සිට හඳුන්වා දෙන මෙම හරිත බැඳුම්කර වෙත ලැබෙන ඉල්ලුමත් සමගින් ඉදිරියේදී කොළඹ කොටස් හුවමාරුව වෙත නීල බැඳුම්කර (Blue Bonds) සහ සමාජ සහ තිරසාරත්ව බැඳුම්කර (Social and Sustainability Bonds) හඳුන්වාදීමට කටයුතු කරන බවත් බණ්ඩාරනායක මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Views: 298